Like to Travle

Friday, August 3, 2018

අන්තර්ජාලය





 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නකි. තවත් අයෙකුට මෙය විශාල වෙළඳපොළකි. තවත් කෙනෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුළු වන්නා මොනයම් සිතුම් පැතුමෙන් පැමිණියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියළු දේ මෙහි අඩංගු වේ. කෙටියෙන් පවසතොත් මෙය ලෝකයේම පිටපතකි.

අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල පමාණයක් ඇත. නමුත් ඇත්ත වශෙයන්ම ඔබට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, මෙම පරිගණක එකිනෙකට සම්බන්ධ බවත් ඒවාට එකිනෙකා සමඟ කථා කළ හැකි බවත් පමණි. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ පධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල පමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. 


වර්ථමානෙය් අප මෙය හඳුනා ගනු ලබන්නේ නව මාධ්‍යයක් ලෙසිනි. නව මාධ්‍ය යනුවෙන් භාවිතා කිරීමෙන්ම පැරණි මාධ්‍ය ද ඇතැයි යන්න නිතැනින්ම ප්‍රකාශ  වෙයි. එහෙත් පැරණි මාධ්‍ය කවරක්ද, නව මාධ්‍ය කවරක්ද යනු පැහැදිලිව රේඛාවකින් වෙන්කොට දැක්වීම අපහසුය. තවද එය බලන්නාගේ දෘෂ්ඨි කෝණය  සහ මිණුම් දණ්ඩ මත රඳා පවතින්නකි.අදටත් ඉතා ප්‍රබල මාධ්‍ය වන ගුවන් විදුලිය මෙන්ම රූපවාහිණියද එක් අතකින් බලන විට පැරණිය. නවීන තාක්ෂණය සමග මුසුවී දිනෙන් දින සිදුවන නව්‍යතාවය සළකා බැලීමේදී අදටත් නැවුම්ය. එසේම පැරණි මාධ්‍ය ලෙස සළකනු ලබන පොත්, පුවත් පත් යනාදිය නව තාක්ෂණෙයන් දිනෙන් දිනම නවීකරණය වෙමින් නව මාධ්‍ය බවට පත් වෙයි.

සන්නිවේදනයේ මූලික පියවරයන් වන භාෂාව,භාෂණය හා ලේඛනය යුගයෙන් යුගයට විපරිණාමය වීමේ ප‍්‍රතිථලයක් ලෙස නූතන මාධ්‍යය බිහි වූ බවට සැකයක් නැත. සන්නිවේදනය ආරම්භයේ දී මිනිසා ඒ සඳහා විවිධ ක‍්‍රමවේද භාවිතා කළේය. මුල දී දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මුහුණට මුහුණලා කළ සන්නිවේදනය පසුව ඔවුන් භූගෝලීය වශයෙන් දෙතැනක සිටින විට ද කළ හැකි තත්වයට වර්ධනය විය.කාලයත් සමග ඒ ක‍්‍රමද විකාශනය විය. ඒ අනුව ලේඛනය මුල් කරගෙන බිහි වූ පොත පත, ලිපි ලේඛන ආදිය මුද්‍රිත මාධ්‍ය ලෙස හැඳින් වූ අතර විද්‍යුත් පරිපථයක් හෝ චුම්බන මෙවලක් උපයෝගි කරගෙන දැනුම ගබඩා කරන හෝ බෙදා හරින මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය ලෙස හැදින්විය.බ්මෙම ද්ත්ත්ව මාධ්‍යයෙන් ම සිදු කරනුයේ මිනිසා මෙතෙක් උරුම කරගත් දැනුම් සම්භාරය මතු පරපුරට දායාද  කිරීමයි. මෙකී විකාශනයේ සංවර්ධිත අවස්ථාව ලෙස අන්තර්ජාලය හැඳින්විය හැක.



21 වන සියවසේ දී ලෝකය විශ්ව ගම්මානයක් වේ යැයි පැවසූ වදන පසක් කරමින් නූතන සමාජ ක‍්‍රමය වන විට ලොව පුරා සිටින මිනිසුන් අතර මෙතෙක් පැවති දුරස්ථභාවය අහෝසි වී සමීප සබැඳියාවක් ගොඩනැගී ඇත. එකී සංසිද්ධියට පදනම් වූයේ ද සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ දියුණුවයි. මිනිසා එකිනෙකාට සමීප කරවීමේ කාර්යයේ දී අන්තර්ජාලයේ මැදිහත්වීම සුළුපටු නැත.

අන්තර්ජාල භාවිතය හා ඒ ආශ්‍රිතව විශාල වශෙයන් සංස්කෘතික ගැටලූ වර්තමානය වන විට පැන නැගී ඇති බැව් සත්‍යයකි. වර්තමානය වන විට ලෝකෙය් සෑම රටකම පාහේ කුමන හෝ කාර්යක් සදහා අන්තර්ජාලය භාවිතා කරනු ලබයි. අන්තර්ජාලය පරිහරණය සීඝ්‍රයෙන්  ව්‍යාප්ත වීමත් සමගම එමගින් සමාජයට කරන බලපෑම ද වර්ධනය විය . මෙම වර්ධනයත් සමගම අන්තර්ජාලය සම්බන්ධ නව සංස්කෘතියක් ගොඩ නැගෙමින් පවතී. ලෝකෙය් කවර ස්ථානයක සිට වුවද  ඕනෑම පුද්ගලෙයකුට අන්තර්ජාලයට ප්‍රවිෂ්ට  වීමට හැකියාව තිබේ. ඒ මගින් තොරතරු ලබාගැනීමටත් තොරතරු ඇතුලත් කිරිමටත් හැකියාව ඇත. එමෙන්ම අන්තර්ජාලය තුල වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ද අවස්ථාව ලබා දී ඇත. නමුත් පුවත්පත් රූපවාහීනී වැනි වෙනත් මාධ්‍යවලදී මෙවැනි නිදහස් අවස්ථාවක් හිමි නො වේ. එහෙත් අත්තර්ජාල මාධ්‍ය දේශ සීමා බාධා බිද දමමින් ගෝලිය සමාජයක් තුල අවම පාලනයකින් සිදු වේ . ගෝලීය මට්ටමින් ගොඩනැගී ඇති අන්තර්ජාල සංස්කෘතියේ ක‍්‍රියාකාරී ස්වරූපය හදුනා ගැනීමේ දී ස්තී පුරුෂ ළමා වැඩිටි භේදයකින් තොරව සමස්ථ ප්‍රජාවට ම අන්තර්ජාලයට ප‍්‍රවේශ වීමේ හැකියාව ඇත.

අන්තර්ජාලය බහු කාර්ය මාධ්‍යයක් වශෙයන් මානව සමාජ ආර්ථික දේශපාලන විනෝද හා විවිධ කාර්යයන් ඵලදායීව ඉටුකර ගැනීමට භාවිතා කළ හැකි මාධ්‍යයකි. නමුත් මානව සමාජ ආර්ථික දේශපාලන විනෝද හා විවිධ අංශ හරහා ජිවිතය පරිහානියට පත් කරන මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හදුන්වා දි තිබේ. ප‍්‍රසිද්ධ මනෝ උපෙද්ශකෙයකු වූ කිම්බෝල් එස් යන අය විසින් අන්තර්ජාලය හා දැඩි සම්බන්ධයක් පවත්වන පුද්ගලයින් 436 ක් ඇසුරින් කරන ලද පර්යේෂණයකදී පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ගලයින් කිසියම් මානසික ව්‍යාධියකට පත්ව ඇති බවයි .

අන්තර්ජාලය භාවිතය තුළින් යහපත් ප‍්‍රතිථල මෙන්ම අයහපත් ප‍්‍රතිඵල ද අත් වේ. වර්තමානය වන විට වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ අයහපත් ප‍්‍රතිථල පිළිබඳවයි. එයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අන්තර්ජාලය තුළ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සමූහයයි. ඒවා ද සමාජ ජාල වෙබ් අඩවි සහ අසභ්‍ය වෙබ් අඩවි යනුවෙන් නූතන සමාජය තුළ වර්ග කිරීමට ලක්ව ඇත. අන්තර්ජාලය තුළින් සිදුවන සමාජ දුරාචාර වලට මෙම අසභ්‍ය වෙබ් අඩවි සෘජුවම බලපාන බව නවතම සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී ඇත.  
  •  ස්ත‍්‍රි දූෂණය 
  •  ළමා අපචාර   
  •  සමලිංගික සම්බන්ධතා
  • ගණිකා වෘත්තිය
  •  අසභ්‍ය ප‍්‍රකාශයන් ඉදිරිපත් කිරීම හා ඒවා නැරඹීමට ඇබ්බැහි වීම
  • විවිධ ක‍්‍රීඩා සඳහා යොමු වීම
  • මානසික ආතතිය
ආදී බොහොමයක් සමාජ අපරාධ සමාජ අපරාධ සිදු වන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමෙන් ඇති වන බලපෑම නිසා බව එම වාර්තාවලින් හෙළි වේ. අන්තර්ජාලය යනු කිසියම් පුද්ගලයකුගේ පාලනයට නතුවන මාධ්‍යයක් නොවේ. හුදෙක් එය තහංචි වලින් තොර මාධ්‍යයකි. මේ නිසා අන්තර්ජාලය පරිහරණය කිරීම යනු අපේ භාෂාවෙන් කියෙතොත් එය දැලි පිහියෙන් කිරි කනවා වැනි කියාවකි.

වඩාත් දියුණු සන්නිවේදන මෙවලමක් වශෙයන් මෙය භාවිතා කිරීමට සාපේක්ෂව ඉහතින් සඳහන් කළා වූ අයහපත් ප‍්‍රතිඵලයන්ගේ ගොදුරක් බවට වර්ථමානෙය් ශී ලංකාවද හසු වී තිබේ.  ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ අසභ්‍යය වෙබ් අඩවි බිහි වීම මෙන්ම තහනම් කිරීමද ඉතා සීඝෙයන් වර්ධනය වන ආකාරය දැකගත හැකි වේ.

Wednesday, August 1, 2018

නූතන ගීතයේ කලාව



සුවහසක් පහන් කළ හැකි අපූරු කලා මාධ්‍යයක් ලෙස ගීතය හඳුනාගත හැකිය. සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ හමුවන ප‍්‍රබලකම අංගය ගීතය යැයි කිවහොත් ඔබ මා සමග එකඟ වනු ඇතැයි සිතමි. කෙනෙකු එකඟ විය හැකිය තවත් කෙනෙකු එකඟ විය නොහැක එය තීරණය වන්නේ පුද්ගල මනෝභාවයන් මතයයි. පුද්ගල මනෝභාවය සංගීතය යන්න ට හැඩගැසෙන්නේ මව් තුරුලේ දීම බැව් මාගේ විශ්වාසයයි. තාලය රිද්මය යන්න කුඩා අවධියේ පටන් මරණය දක්වා අප ජීවිතයේ ශරීරයේ කිඳා බැස ගෙන ඇති අපූරු හැඟීමක් වේ. ගීතයේ ආරම්භයේ සිට ම අද දක්වාම ගීත සාහිත්‍ය බොහෝ සෙයින් පෝෂණය වී තිබේ. දුක, සතුට, සන්තාපය, පේ‍්‍රමය, විරහව මේ සෑම දෙයක් ගැනම ගීතයෙන් අපේ හිත පිරිමැදලා තියෙනවා. ඒ වගේම මේ කාව්‍යමය නිර්මාණය සියුම් වූ ද ප‍්‍රභල වූද ප‍්‍රකාශන මාධ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වෙනවා. ගීතය සතුව තිබෙන රුවගුණ දෙකම ඊටම අනන්‍ය වෙනවා. ගීතයෙන් සංකීර්ණ අනුභූතීන් සරලව තේරුම් ගැනීමට සලස්වනවා. එනිසාම එය සුභාවිත ගීතයක් බවට පත් වෙනවා. සුභාවිත ගීතයේ විශේෂත්වය නම් එහි සංගීතය ඉතා ඉහල වීමය. ශ‍්‍රවණ රෝග පවා සුව කළ හැකි ඉතා ගැඹුරු අරුතක් ඇති නිර්මාණයක් ලෙස සුභාවිත ගීය හැඳින්වීමට පිළිවෙන. මිනිස් සිතෙහි ඇතිවන හැඟීම් අරුත්බර වචනයට පරිවර්තනය වෙමින් ඉතා සෞන්දර්යාත්මක තාල රටා යොදා ගනිමින් ගොඩ නැගුණු ගීත එදා මෙදාතුර අද වන තෙක්ම අප සිත් තුළ තැන්පත්ව තිබෙනවා. සම්භාව්‍ය ගීත ඇසීමට අප වාසනාවන්ත වී තිබෙන නමුත් අනාගත පරම්පරාවේ රසවින්දන ශක්‍යතාව පිළිබඳ ගැටලූ මතු වෙමින් පවතී.
පසුගිය වසර දහයක කාලයක් තුළ අප රටේ නිර්මාණය වූ ගීත කලාත්මක ඇසින් බැහැර වු වාණිජමය අරමුණු ඉටුකර ගැනීම පිණිස ගීත නිර්මාණය වීමේ කලාවවේ ආරම්භය සනිටුහන් කළේය. සියල්ල මුදලට විකිණෙන සමාජයක කලාව වාණිජ අරමුණු හබායාම අරුමයක් නොවේ. නමුත් එම නිර්මාණ ජනතාවට සාධාරණයක් විය යුතුයි. ගීතය පුද්ගලයාගේ කාන්සිය නිවන, මනස සුවපත් කරන ඔසුවක් විය යුතුය. නමුත් නූතන ගීත කලාව තුළ මෙකී ලක්ෂණ පිළිබිඹු වනවා ද යන්න ගැටලූවකි
නූතන සංගීත සංස්කෘතිය යැයි හඳුන්වමින් ජනතාවගේ රසවින්දනය බලෙන් පැහැර ගනිමින් සිටියි. මෙවැනි තත්ත්වයන් යටතේ අර්ථවත් නිර්මාණ බිහිවේ යැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. මෑතකාලීනව කලාකරුවන් යැයි කියාගන්නා පිරිස් හඹායන්නේ සංගීතය නැමැති කලාව පිටුපස නොව මුදල් සහ ප‍්‍රසිද්ධිය පිටුපස වීම කණගාටුදායක කරුණකි. එවැනි ගීත රැුල්ලකට දේශීය ගීතය නැඹුරු වී හමාරය. මෙම රැුල්ල තුළ ගීතයක් නිර්මාණය කිරීමට එහෙන් මෙහෙන අහුලා ගත් වචන ටිකක් සහ දඩිං බිඩිං ශබ්ද කිහිපයක් ප‍්‍රමාණවත් වේ. ඉතින් රසඥතාවයෙන් තොර, නිර්මාණශීලීත්වය මොට කරන පිරිසක් සමාජයට දායාද වීම කෙසේ නම් වැලැක්විය හැකි ද


ජනප‍්‍රිය සංගීතය යනුවෙන් ලේබල් වූ කණ්ඩායම් සංගීතය, නන්ස්ටොප් රැල්ල මෙන්ම මල් සහ පන්සල් ගීත සංස්කෘතිය අද වන විට ආදරේ යාදින්නක් හෙවත් කෙඳිරිගෑමක් දක්වා වර්ධනය වී ඇත. පේ‍්‍රමය විරහව යන හැඟීම් නූතන ගායකයාට අදෝනාවක් අඩවැඩියාවක් වැනිය. මෙම අදෝනාව වුව ද ජනප‍්‍රිය කිරීමේ හැකියාව ගීත වීඩියෝ පට සංස්කෘතියට තිබෙන බව විශේෂයෙන්ම කිව යුතුය. බොහෝ වේලාවට ගීතයේ පද පෙලට හෝ රිද්මයට හාත්පසින්ම වෙනස් රූපරාමු මෙම වීඩියෝ පට තුළින් එළි දැක්වේ. එම රූපරාමු නිර්මාණාත්මක බව පසෙකලා රාගය සහ ලිංගිකත්වය ඉස්මතු කිරීමක නිරත වී සිටී. නූතන ගීතය තුල කලාත්මක අගය කෙසේ වෙතත් මුදලට විකුණූ තරුණ්‍යයේ ලිංගිකත්වය සහ කාන්තා නිරුවත නොඅඩුව තිබෙන බව නම් කිවයුතුමය. බොහෝ වීඩියෝ පටවල සිදුවන්නේ ගීතය තුළින් එකඑල්ලේ දමා ගසන වචනය ක‍්‍රියාවට නැංවීමයි. මෙහි දී ගීතයෙන් රදවාගත නොහැකි රසිකයා වීඩියෝ පටය තුළින් පේ‍්‍රක්ෂකයකු ලෙස රඳවා ගැනීමට උත්සාහ කරයි. කලාකෘතියක නිර්මාණකරුවාට සංයමයක් අවශ්‍ය වන බව මතක් කිරීමට සිදුවන්නේ මෙවැනි අවස්ථාවලදී ය. හැදියාව, සංයමය, සංස්කෘතිය යන සියල්ල මුදලට යට වන බව නූතන ගීත සංස්කෘතිය අපට පසක් කර හමාරය.
මේ සියල්ල ජනතාව අපේක්ෂා නොකළ දේ වුවත් වෙළෙන්දන් විසින් මේ වන විටත් නූතන ගීතයට වෙළඳපොළක් නිර්මාණය කර අවසන් ය. මෙම ව්‍යාපාරක ගීත රැුල්ලේ ප‍්‍රතිවිපාක විදීමට සිදු වන්නේ මුළු මහත් සමාජයට ය. ඒ අතුරින් තරුණ ප‍්‍රජාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. රටේ අනාගතය තීරණය කරන තරුණ ප‍්‍රජාවගේ මනස විකෘති කිරීමට නූතන ගීතය ලබා දෙනනේ නොමද පිටුබලයකි. රටක සංවර්ධනය යන්න භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද සිදුවිය යුත්තකි. මෙවැනි හරසුන් නිර්මාණ හමුවේ එවැනි ප‍්‍රගමනයක් කෙලෙස නම් බලාපොරුත්තු වන්න ද. එම නිසා සෑම නිර්මාණයක් ම රස විදිමින් හොද දේ පමණක් ඉතිරි කර හරසුන් නිර්මාණ ගං දියේ සැගව යන්නට ඉඩහැර ඉවුරු දෙපසට වී බලා සිටීමට අපට සිදු වේ.

Saturday, July 28, 2018

පද්මාවතී







ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දක්නට ඇති අලුත්ම විලාසිතාවක් වී ඇත්තේ ඓතිහාසික තේමා රැගත් සිනමා පට නිෂ්පාදනය කිරීමයි. අබා සිනමා කෘතියෙන් පටන්ගෙන කාල සිනමා කෘතිය දක්වා වූ මෙරට ඓතිහාසික තේමා රැගත් සිනමා රැල්ලට මේ වනතෙක් කිසිම පාර්ශවයකින් බාධා එල්ල වුණේ නැහැ. මන්ද යත් තවමත් මෙරට ජනතාවට ඉතිහාසය ගැන තිබෙන ආඩම්බරකම කිසිදු ලෙසකින් හෝ අඩු නොවීමත් අවම ජන වර්ග ප්‍රමාණයක් අප රට තුළ සිටීමත් යන කරුණු ඊට හේතු ලෙස දැක්විය හැකියි.  නමුත් ඉන්දියාවේ තත්ත්වය මීට වඩා තරමක් දුරට වෙනස් මගක් ගනියි. ප්‍රධාන  වශයෙන් ආගම් 7 ක් සහ හින්දි භාෂාවට අමතරව ප්‍රධාන භාෂා 22 ක් පමණ දක්නට ලැබෙන බහු වාර්ගික, බහු ආගමික ගැටුම් දිගින් දිගටම පවතින රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය.

 මේ නිසා ඉන්දියාව තුළ සිනමා කෘතියක් නිර්මාණය කිරීමේදී වර්ගවාදී ආගම්වාදී අදහස් වලට පහරක් නොවදින ආකාරයෙන් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරුන් වගබලා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් කරුණක් වේ.  ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ සිනමා කෘතියක් වන පද්මාවතී සිනමා කෘතිය ඉන්දියාව තුළ වාරණයට ලක් විය. මෙම චිත්‍රපටය  වාරණය කර තිබෙන්නේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නොව හින්දු රාජ්පුත්වරුන් විසින් ය. හින්දු රාජ්පුත්වරුන්ගේ විරෝධය හමුවේ මේ සිනමා කෘතිය තිරගත කිරීම තාවකාලිකව නැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලයේ කටයුතු කර තිබුනා. නමුත් එය 2018 පෙබරවාරි මස 4 වන දින තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවට හින්දු පුවත්පත වාර්තා කළේය.

පද්මාවතී නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා සහ තිරපිටපත් රචකයා වන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලි වන අතර එහි නිෂ්පාදන කටයුතු වයකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනය විසින් සිදුකර ඇත. මෙහි ප්‍රධාන චරිත රඟපානු ලබන්නේ බොලිවුඩයේ සුප්‍රකට නළුවන් දෙදෙනකු වන දීපිකා පදුකෝන්, ෂාහිඩ් කපූර් සහ රන්වීර් සිංග් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු සඳහා සමස්ත වියදම ඉන්දීය කෝටි 200 කි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 32 කි.

මෙම සිනමා කෘතියට පාදක වූ කතා පුවත වී ඇත්තේ දාහතරවැනි සියවසේ මුඛ පරම්පරාගත වෘතාන්තයක් වු මලික් මුහම්මත් ජයසි කවියාගේ  පද්මාවතී කාව්‍යය යි. යුතු කාර්යයයි ඉන්දීය පුරාවෘත්තයන්ට අනුව පද්මාවතී රැජින "රානි පද්මිනී" යනුවෙන්ද හදුන්වා තිබෙනවා. පද්මාවතී යනු සිංහල ද්වීපයේ ගාන්ධර්ව සේන රජුගේ සහ ඔහුගේ අගබිසව චම්පාවතීගේ දියණිය යි. පද්මාවතී කුමරිය අතිශය සුරූපී වූවා සේම යුධ ශිල්පයෙහි අති දක්ෂයෙකි. එනිසා ඇයට ස්වාමි තෝරාගැනීමට ස්වයංවරය ඇය ඉල්ලා සිටි අතර තමා  සමග කඩු සටන් කොට ජය ගත හැකි කෙනෙකු වේ නම් තම ස්වාමියා ලෙස ඔහු තෝරා ගන්නට ඇය  තීරණය කළාය.

 ඉන්දියාවේ "රාජ්පුත්‍තානා" (වර්තමානයේ රාජ්පුත්)  පාලනය කරමින් සිටි රානා රත්න් සිං නම් රාජ්පුත් රජු කතා කරන ගිරවෙකුගේ මාර්ගයෙන් පද්මාවතියගේ රූප ශ්‍රීය ගැන අසා ඒ වර්ණනාවෙන් අමන්දානන්දයට පත් ඔහු පද්මාවතිය විවාහ කර ගන්නට තීරණය කර පද්මාවතියගේ ස්වයංවර කොන්දේසිය ද  ජය ගෙන ඇයව විවාහ කර ගනු ලබනවා.

 මේ කාලය වනවිට දිල්ලියේ පාලකයා වූයේ මුස්ලිම් ආක්‍රමණිකයෙකු වූ අලවුද්දීන් කිල්ජි නම් වූ තුර්කි පාලකයා යි. ඉතිහාසයේ දරුණුතම පාලකයෙක් ලෙස හැඳින්වූ ඔහු තමන්ගේම ඥාතීන් හා සොහොයුරන් පවා ඝාතනය කොට ඔවුන් සතු දේපළ කොල්ල කා ගනිමින් ඔවුන්ගේ භාර්යාවන් පැහැරගත් අමානුෂික පාලකයෙක් ලෙස ඉතිහාස වෘතාන්තවල දැක්වෙනවා. අලවුද්දීන් කිල්ජිට පද්මාවතීගේ රූපශ්‍රීය පිළිබඳව අසන්නට ලැබෙන්නේ රාණා රතන් සිංට   විරුද්ධව කුමන්ත්‍රණය කළ  ඔහුගේම සොහොයුරන්ගෙනි.

 පද්මාවතී රැජිනගේ රූපශ්‍රීය ගැන අසන අලවුද්දීන් කිල්ජිට  ඇයව දැක ගැනීමට අවශ්‍ය වුවත් රාජ්පුතානහි චිත්තෝර් බලකොටුවට යන ඔහුට පද්මාවතී රැජින දැකගත හැකිවනුයේ කැඩපත් ඡායාමාත්‍රයක් ලෙසින් පමණි. එයින් ඔහු පද්මාවතී රැජිනගේ රූපශ්‍රීයට වසඟ වන අතර ඔහු ආපසු යන්නට පිටත් වන්නේ පද්මාවතී රැජින කෙසේ හෝ තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානය ද සිතේ දරාගෙනයි. ඒ සඳහා ඔහු උපක්‍රමශීලිව රානා රතන් සිං පැහැරගනු ලබනවා. රතන් සිං  බේරාගැනීමට කළ සටනින් රාජ්පුත්  සේනාවෙන් බහුතරයක් හා රාණා රතන් සිං මිය යනු ලබනවා. තුර්කි ආක්‍රමණිකයාට යටත් වීමට ඇති අකැමැත්ත නිසා පද්මාවතී රැජින තම ගෞරවය රැක ගනිමින් ගින්නට පැන දිවි නසා ගන්නා අතර ඇගේ පරිවාර කාන්තාවන්ද ඇයව අනුගමනය කරමින් ගින්නට පැන ජීවිත පූජා කරනු ලබනවා. මෙය එක්තරා ආකාරයක සති පූජාවක් ලෙස හැඳින්විය හැකිය. මේ සති පූජාව හේතුවෙන් පද්මාවතී රැජින රාජ්පුත් වංශිකයන් අතර අදටත්  ගෞරව ලබන කාන්තාවක් බවට පත්වී තිබෙනවා.

 මෙම අග්‍රගන්‍ය කතාව ඔස්සේ  සිනමා කෘතිය නිර්මාණය වුවත් දිගින් දිගටම රාජ්පුත්වරුන්  සහ හින්දු අන්තවාදී කණ්ඩායම් පද්මාවතී චිත්‍රපටයට එරෙහිව  විරෝධතා එල්ල කරන ලදී. එම විරෝධතා  ඔස්සේ ඔවුන් දිගින් දිගටම කියා සිටියේ පද්මාවතීගේ  චරිතයට පණ පෙවූ දීපිකා පදුකෝන් එම චරිතයේ ගෞරවය කෙලෙසා ඇති බවයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ චිත්‍රපටයෙහි පද්මාවතිය සහ අලවුද්දීන් කිල්ජි  රජු අතර ආලයෙන් වෙලී සිටින සමීප දර්ශන අන්තර්ගත බවයි. හින්දු පුවත්පත වාර්තා කළ ආකාරයට මෙයින් උරණ වූ විරෝධතා කණ්ඩායම පද්මාවතී සිනමා නිර්මාණය රූගත කරන ස්ථානයට පැමිණ එහි අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ කම්මුලට පහරක් එල්ලකර තිබෙනවා. එසේම සංජය ලීලා බන්සාලිගේ රුවට සමාන බඹයන් නිර්මාණය කර ඒවා පුළුස්සා දමමින් විරෝධතා පවත්වා ඇති අතර ඔවුන් විසින් එහි ප්‍රධාන චරිතය රඟපෑ දිපිකා පදුකෝන්ට පංචතන්ත්‍රයේ එන කතා වස්තුවක සඳහන් පරපුරුෂ සේවනයෙන් නියුතු කාන්තාවන්ට ලබාගෙන හිස ගසා දැමීමේ දඬුවම ලබාදිය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමීමට හැකි අයකුට ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් ලබාදෙන බවට ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

 මේ උද්ඝෝෂණ ඉන්දීය  පාලක භාරතීය ජනතා පක්ෂයේ පාලනය යටතේ පවතින රාජස්ථාන්, උත්තර ප්‍රදේශ සහ හර්‍යාන ප්‍රාන්ත ඇතුළු ඉන්දියානවේ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිර ගොස් ඇති අතර රාජස්ථානයේ අතීත රජ පවුල්වලට නෑකම් කියන වර්තමාන පරම්පරා වල පුද්ගලයන්ද එය රූගත නොකරන මෙන් එහි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබෙනවා. එසේම පසුගිය දිනවල ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මැතිවරණ උණුසුම ඉහළ ගිය අවස්ථාවක මේ සිනමා කෘතියට පැමිණි විරෝධය මැතිවරණයේදී හින්දු ඡන්ද ලබා ගැනීමට සිදුකරන ලද උපක්‍රමයක් ලෙස ඇතැම් දේශපාලන විචාරකයෝ දක්වා තිබෙනවා. හින්දු මුස්ලිම් ජාතිවාදය දැඩිව පවතින රටක් වන ඉන්දියාවේ බහුතර හින්දු ඡන්ද වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් ඇතිකරන ලද මැතිවරණ ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස මේ විරෝධතා හැඳින්විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත්  මුළු ලෝකයේම අවධානය මෙම සිනමා කෘතිය වෙත යොමු විය.

කලා කෘතියක් දෙස ජාතිවාදී වර්ගවාදී කෝණයකින් බලන මිනිසුන් සිටින තාක්කල් විශිෂ්ට ගණයේ කලා කෘති බිහිවන්නේ නැහැ . කලාවට ජාතියක්, වර්ගයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ උසස් රසවින්දනයක්, උසස් මනසක් ඇති මිනිසුන් පමණි. එහෙත් බල දේශපාලන අධිකාරියේ දේශපාලන අරමුණු වෙනුවෙන් කලාකෘති පාවා දෙන්නේ නම් එය සමස්ත මානව ප්‍රජාවගේ පරිහානියට හේතුවක් විය හැකි ය.

Friday, July 27, 2018

අසිරිමත් දළදා පූජෝපහාරය



කන්ද උඩරට සිරි දළඳා වංශයේ ඇසල පෙරහැර අනාදිමත් යුගයක සිට අද දක්වා පැවත එන්නකි. දළදා වහන්සේ වැඩසිටි රාජධානි සියල්ලකම පාහේ ඇසල පෙරහැර පැවැත්වීම සිරිතක් වුවත් මහනුවර ඇසළ පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වෙන්නේ දළදා සමිඳු වැඩ වසන බිමෙහි ය.  එනිසාම මහනුවර ඇසළ පෙරහර දෙස් විදෙස් කාගේත් ගෞරවයට පාත්‍ර වූ අසිරිමත් සැණකෙළියකි. ඇසළ පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවසය. එනම් ක්‍රි.ව 301-328 යුගයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය. එලෙස කිත්සිරිමෙවන් රජුගේ  රජුගේ පටන් ලක්දිව සියලු රජවරු සතුරු ආපදාවල දී හැර අන් සැම විටදීම දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. දළදා සිරිතෙහි එන පෙරහැර චාරිත්‍ර බොහොමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි. වසර 1592  දී පළමුවන විමලධර්මසූරිය රජ සමයෙහි ශ්‍රී  දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම කර වූ බව සැලකෙන අතර ඉන් අනතුරුව කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය පවත්වාගෙන ආ බවට තොරතුරු හමුවේ. දළදා වහන්සේට පුද සත්කාර, පූජෝපහාර පිණිස කොඩි, සේසත්, කසකරුවන් පංච තූර්ය වාදකයන් ද නැට්ටුවන් හා අලි ඇතුන් පිරිවරාගෙන පෙළ සැදී ගමන් කිරීම දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර යනුවෙන් ප්‍රකට වේ. ඇසළ පුර පසළොස්වක පෝය දිනට හෝ නිකිණි පුර පසළොස්වක පොහොය දිනට අවසන් රන්දෝලි පෙරහැර යෙදෙන සේ වාර්ෂිකව පෙරහැර පැවැත්වේ.

ක්ෂීර වර්ගයක වෘක්ෂයක ශාඛාවක් ගෙන සිව් මහා දේවාලවල ඇසළ කප්සිටුවීමෙන් දේවාල අභ්‍යන්තර පෙරහර පහක් ද ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද ,රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියේ ගෙඩිගේ විහාරයට පෙරහැර කරඬුව වැඩමවන පෙරහැර ද පැවැත්වේ. පසුදින දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය අවසාන් වේ. ඇසළ පෙරහරේ මුලින්ම ගමන් කරන්නේ ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර‍යි. ඊට පසු පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රී  පත්තිනි දේවාල පෙරහර ද ගමන් කරනු ඇත.

 පෙරහැර සාර්ථකව අවසන් කළ බවට රටේ ප්‍රධාන පාලකයා වන ජනාධිපතිතුමා වෙත සන්දේශය පිළිගැන්වීම සිදු කෙරෙන්නේ සියල්ල අවසානයේ දී ය. අසිරිමත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළ ගැස්ම විසින් විචිත්‍රාංග රැසකි.

  •  ආරක්ෂක රථය - මෑත ඉතිහාසයේ දී එක් වූ අංගයකි. ඉදිරිපස ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් ඉඩකඩ සලසා ගැනීමත් මෙමගින් සිදුවේ.

  •  කසකරුවෝ - පෙරහරේ මුලින්ම ගමන් කරයි. පෙරහැර ලග ලගම එන බව සංකේතවත් කිරීමත් ඉඩකඩ ලබා ගැනීමත් අරමුණය.

  •  ගිනිබෝලකරුවන් - මග දෙපස ආලෝකමත් කිරීමත් පෙරහරට මඟ දෙපස ඉඩ ලබාදීමත් ප්‍රීතිය ලබාදීමත් සිදු කරයි.

  •  බෞද්ධ කොඩි - බෞද්ධ ආගමික පෙරහරක් බව හැඟවෙන්නේ මේ නිසාය. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැගෙන යනු ලබයි.  එම නිසා මේ පෙරහර ජාතික උත්සවයක් ද වන බව සංකේතවත් කරයි.

  • දිසා කොඩිය - පළමුව හතර කෝරළයේ  ඉරහඳ මහ කොඩිය, දෙවෙනුව හත්කෝරළේ සිංහයා මහ කොඩිය, ඌවේ හංසයා මහ කොඩිය, මාතලේ සුදු මහ කොඩිය, සබරගමුව කහපාට පටරෙදි  මහ කොඩිය, තුන් කෝරළේ කොඩිය භේරුණ්ඩ මහ කොඩිය, වලපනේ මයුර මහ කොඩිය, උඩපලාත නෙළුම් මහ කොඩිය, නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය, වෙල්ලස්සේ කොටියා මහ කොඩිය, බිම් තැන්නේ ගිරවා මහ කොඩිය, තමන්කඩුව වලහා මහ කොඩිය, මෙම දිසාවන් 12 සංකේතවත් කරන කොඩි 12ක් ද යොදාගැනේ . උඩුනුවර, හේවාහැට, යටිනුවර, කොත්මලේ, තුන්පනේ, උඩ බුලත්ගම, හාරිස්පත්තුව, දුම්බර, පාත බුලත්ගම, යන නවයට වෙන්වු කොඩි  ද වේ.

  • පිත්තල දිසා කොඩි 7 සහ කඩු ගෙන යන්නෝ - පෙරහරේ ආරක්ෂාව සංකේතවත් කරයි.

  • හස්ථියා පිට පෙරමුණේ රාල - පෙරහර ගමන් ගන්නා මාර්ගය පිලිබද වාර්තා සහිත ලේකම්  සංකේතවත් කරයි.

  •  හේවිසිකරුවෝ - දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි ආදී වාද්‍ය භාණ්ඩයක් භාවිතා කරති. පෙරහැරේ අලංකාරය සඳහා වේ.

  •  ගජනායක නිලමේ - අංකුසයක්  අත දරා ඇතුන් නියෝජනය කරයි.

  •  හොරණෑ වාදකයෝ 
  • චාමර නැටුම්
  •    ලී කෙලි කණ්ඩායම   
  • පන්තෙරු 
  • තාලම්  කණ්ඩායම් 
  • හවඩි දඟයා 
  • නෛයඩි කණ්ඩායම 
  • අත් රබන් 
  •  කාරියකරවන කෝරාළ
  •  කරඬුව වඩමවන මංගල හස්තියා ඇතුළු දෑලේ ඇතුන් දෙදෙනා 
  • මල් පහන් ගෙන යන්නෝ   
  • වෙස් නැටුම් 
  • දියවඩන නිලමේ 
  •  දෙපස මුරායුද කරුවන් සහ මුතු කුඩය
  •  බුරුම කොඩි දෙකක්
  •  ගම් දහයේ විදානේවරු - මොවුහු නිල ඇඳුමින් සැරසී දියවඩන නිලමේ පිටු පසින් ගමන් කරති.

දළදා මාලිගාවේ පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලයන්හි පෙරහැර ගමන් කරයි.
මාලිගාවේ නැකත් මොහොට්ටාල තැන විසින් සාදන ලද නැකැත් පත්‍රයට අනුව සියලු පෙරහැර කටයුතු සුභ මොහොතින් ආරම්භ වේ.

රන්දෝලි පෙරහරෙන් පසු නැවත පෙරහැර මාලිගාවට ප්‍රවිශ්ඨ වෙයි. ඊට පසුදින දිය කැපීමේ පෙරහර පවත්වා පෙරහැර කටයුතු නිමා කෙරෙයි . අනතුරුව දියවඩන නිලමේතුමා ඇතුළු සියලු නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති මැදුරට පැමිණ එම වසරේ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට වූ සන්දේශය ජනාධිපතිතුමන් වෙත බාර කිරීම සිදුකෙරේ. දළදා පෙරහැර මංගල්‍ය පවත්වා දළදා පූජා පැවැත්වීමෙන් පසු මුළු රටටත් ජනතාවටත් ශාන්තිය උදා කරමින් කන්ද උඩරට මහා පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...