Like to Travle

Saturday, July 28, 2018

පද්මාවතී







ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දක්නට ඇති අලුත්ම විලාසිතාවක් වී ඇත්තේ ඓතිහාසික තේමා රැගත් සිනමා පට නිෂ්පාදනය කිරීමයි. අබා සිනමා කෘතියෙන් පටන්ගෙන කාල සිනමා කෘතිය දක්වා වූ මෙරට ඓතිහාසික තේමා රැගත් සිනමා රැල්ලට මේ වනතෙක් කිසිම පාර්ශවයකින් බාධා එල්ල වුණේ නැහැ. මන්ද යත් තවමත් මෙරට ජනතාවට ඉතිහාසය ගැන තිබෙන ආඩම්බරකම කිසිදු ලෙසකින් හෝ අඩු නොවීමත් අවම ජන වර්ග ප්‍රමාණයක් අප රට තුළ සිටීමත් යන කරුණු ඊට හේතු ලෙස දැක්විය හැකියි.  නමුත් ඉන්දියාවේ තත්ත්වය මීට වඩා තරමක් දුරට වෙනස් මගක් ගනියි. ප්‍රධාන  වශයෙන් ආගම් 7 ක් සහ හින්දි භාෂාවට අමතරව ප්‍රධාන භාෂා 22 ක් පමණ දක්නට ලැබෙන බහු වාර්ගික, බහු ආගමික ගැටුම් දිගින් දිගටම පවතින රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය.

 මේ නිසා ඉන්දියාව තුළ සිනමා කෘතියක් නිර්මාණය කිරීමේදී වර්ගවාදී ආගම්වාදී අදහස් වලට පහරක් නොවදින ආකාරයෙන් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරුන් වගබලා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් කරුණක් වේ.  ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වූ සිනමා කෘතියක් වන පද්මාවතී සිනමා කෘතිය ඉන්දියාව තුළ වාරණයට ලක් විය. මෙම චිත්‍රපටය  වාරණය කර තිබෙන්නේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නොව හින්දු රාජ්පුත්වරුන් විසින් ය. හින්දු රාජ්පුත්වරුන්ගේ විරෝධය හමුවේ මේ සිනමා කෘතිය තිරගත කිරීම තාවකාලිකව නැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලයේ කටයුතු කර තිබුනා. නමුත් එය 2018 පෙබරවාරි මස 4 වන දින තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවට හින්දු පුවත්පත වාර්තා කළේය.

පද්මාවතී නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා සහ තිරපිටපත් රචකයා වන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලි වන අතර එහි නිෂ්පාදන කටයුතු වයකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනය විසින් සිදුකර ඇත. මෙහි ප්‍රධාන චරිත රඟපානු ලබන්නේ බොලිවුඩයේ සුප්‍රකට නළුවන් දෙදෙනකු වන දීපිකා පදුකෝන්, ෂාහිඩ් කපූර් සහ රන්වීර් සිංග් වන අතර මෙහි නිෂ්පාදන කටයුතු සඳහා සමස්ත වියදම ඉන්දීය කෝටි 200 කි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 32 කි.

මෙම සිනමා කෘතියට පාදක වූ කතා පුවත වී ඇත්තේ දාහතරවැනි සියවසේ මුඛ පරම්පරාගත වෘතාන්තයක් වු මලික් මුහම්මත් ජයසි කවියාගේ  පද්මාවතී කාව්‍යය යි. යුතු කාර්යයයි ඉන්දීය පුරාවෘත්තයන්ට අනුව පද්මාවතී රැජින "රානි පද්මිනී" යනුවෙන්ද හදුන්වා තිබෙනවා. පද්මාවතී යනු සිංහල ද්වීපයේ ගාන්ධර්ව සේන රජුගේ සහ ඔහුගේ අගබිසව චම්පාවතීගේ දියණිය යි. පද්මාවතී කුමරිය අතිශය සුරූපී වූවා සේම යුධ ශිල්පයෙහි අති දක්ෂයෙකි. එනිසා ඇයට ස්වාමි තෝරාගැනීමට ස්වයංවරය ඇය ඉල්ලා සිටි අතර තමා  සමග කඩු සටන් කොට ජය ගත හැකි කෙනෙකු වේ නම් තම ස්වාමියා ලෙස ඔහු තෝරා ගන්නට ඇය  තීරණය කළාය.

 ඉන්දියාවේ "රාජ්පුත්‍තානා" (වර්තමානයේ රාජ්පුත්)  පාලනය කරමින් සිටි රානා රත්න් සිං නම් රාජ්පුත් රජු කතා කරන ගිරවෙකුගේ මාර්ගයෙන් පද්මාවතියගේ රූප ශ්‍රීය ගැන අසා ඒ වර්ණනාවෙන් අමන්දානන්දයට පත් ඔහු පද්මාවතිය විවාහ කර ගන්නට තීරණය කර පද්මාවතියගේ ස්වයංවර කොන්දේසිය ද  ජය ගෙන ඇයව විවාහ කර ගනු ලබනවා.

 මේ කාලය වනවිට දිල්ලියේ පාලකයා වූයේ මුස්ලිම් ආක්‍රමණිකයෙකු වූ අලවුද්දීන් කිල්ජි නම් වූ තුර්කි පාලකයා යි. ඉතිහාසයේ දරුණුතම පාලකයෙක් ලෙස හැඳින්වූ ඔහු තමන්ගේම ඥාතීන් හා සොහොයුරන් පවා ඝාතනය කොට ඔවුන් සතු දේපළ කොල්ල කා ගනිමින් ඔවුන්ගේ භාර්යාවන් පැහැරගත් අමානුෂික පාලකයෙක් ලෙස ඉතිහාස වෘතාන්තවල දැක්වෙනවා. අලවුද්දීන් කිල්ජිට පද්මාවතීගේ රූපශ්‍රීය පිළිබඳව අසන්නට ලැබෙන්නේ රාණා රතන් සිංට   විරුද්ධව කුමන්ත්‍රණය කළ  ඔහුගේම සොහොයුරන්ගෙනි.

 පද්මාවතී රැජිනගේ රූපශ්‍රීය ගැන අසන අලවුද්දීන් කිල්ජිට  ඇයව දැක ගැනීමට අවශ්‍ය වුවත් රාජ්පුතානහි චිත්තෝර් බලකොටුවට යන ඔහුට පද්මාවතී රැජින දැකගත හැකිවනුයේ කැඩපත් ඡායාමාත්‍රයක් ලෙසින් පමණි. එයින් ඔහු පද්මාවතී රැජිනගේ රූපශ්‍රීයට වසඟ වන අතර ඔහු ආපසු යන්නට පිටත් වන්නේ පද්මාවතී රැජින කෙසේ හෝ තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානය ද සිතේ දරාගෙනයි. ඒ සඳහා ඔහු උපක්‍රමශීලිව රානා රතන් සිං පැහැරගනු ලබනවා. රතන් සිං  බේරාගැනීමට කළ සටනින් රාජ්පුත්  සේනාවෙන් බහුතරයක් හා රාණා රතන් සිං මිය යනු ලබනවා. තුර්කි ආක්‍රමණිකයාට යටත් වීමට ඇති අකැමැත්ත නිසා පද්මාවතී රැජින තම ගෞරවය රැක ගනිමින් ගින්නට පැන දිවි නසා ගන්නා අතර ඇගේ පරිවාර කාන්තාවන්ද ඇයව අනුගමනය කරමින් ගින්නට පැන ජීවිත පූජා කරනු ලබනවා. මෙය එක්තරා ආකාරයක සති පූජාවක් ලෙස හැඳින්විය හැකිය. මේ සති පූජාව හේතුවෙන් පද්මාවතී රැජින රාජ්පුත් වංශිකයන් අතර අදටත්  ගෞරව ලබන කාන්තාවක් බවට පත්වී තිබෙනවා.

 මෙම අග්‍රගන්‍ය කතාව ඔස්සේ  සිනමා කෘතිය නිර්මාණය වුවත් දිගින් දිගටම රාජ්පුත්වරුන්  සහ හින්දු අන්තවාදී කණ්ඩායම් පද්මාවතී චිත්‍රපටයට එරෙහිව  විරෝධතා එල්ල කරන ලදී. එම විරෝධතා  ඔස්සේ ඔවුන් දිගින් දිගටම කියා සිටියේ පද්මාවතීගේ  චරිතයට පණ පෙවූ දීපිකා පදුකෝන් එම චරිතයේ ගෞරවය කෙලෙසා ඇති බවයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ චිත්‍රපටයෙහි පද්මාවතිය සහ අලවුද්දීන් කිල්ජි  රජු අතර ආලයෙන් වෙලී සිටින සමීප දර්ශන අන්තර්ගත බවයි. හින්දු පුවත්පත වාර්තා කළ ආකාරයට මෙයින් උරණ වූ විරෝධතා කණ්ඩායම පද්මාවතී සිනමා නිර්මාණය රූගත කරන ස්ථානයට පැමිණ එහි අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ කම්මුලට පහරක් එල්ලකර තිබෙනවා. එසේම සංජය ලීලා බන්සාලිගේ රුවට සමාන බඹයන් නිර්මාණය කර ඒවා පුළුස්සා දමමින් විරෝධතා පවත්වා ඇති අතර ඔවුන් විසින් එහි ප්‍රධාන චරිතය රඟපෑ දිපිකා පදුකෝන්ට පංචතන්ත්‍රයේ එන කතා වස්තුවක සඳහන් පරපුරුෂ සේවනයෙන් නියුතු කාන්තාවන්ට ලබාගෙන හිස ගසා දැමීමේ දඬුවම ලබාදිය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමීමට හැකි අයකුට ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් ලබාදෙන බවට ද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

 මේ උද්ඝෝෂණ ඉන්දීය  පාලක භාරතීය ජනතා පක්ෂයේ පාලනය යටතේ පවතින රාජස්ථාන්, උත්තර ප්‍රදේශ සහ හර්‍යාන ප්‍රාන්ත ඇතුළු ඉන්දියානවේ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිර ගොස් ඇති අතර රාජස්ථානයේ අතීත රජ පවුල්වලට නෑකම් කියන වර්තමාන පරම්පරා වල පුද්ගලයන්ද එය රූගත නොකරන මෙන් එහි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබෙනවා. එසේම පසුගිය දිනවල ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මැතිවරණ උණුසුම ඉහළ ගිය අවස්ථාවක මේ සිනමා කෘතියට පැමිණි විරෝධය මැතිවරණයේදී හින්දු ඡන්ද ලබා ගැනීමට සිදුකරන ලද උපක්‍රමයක් ලෙස ඇතැම් දේශපාලන විචාරකයෝ දක්වා තිබෙනවා. හින්දු මුස්ලිම් ජාතිවාදය දැඩිව පවතින රටක් වන ඉන්දියාවේ බහුතර හින්දු ඡන්ද වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් ඇතිකරන ලද මැතිවරණ ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස මේ විරෝධතා හැඳින්විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත්  මුළු ලෝකයේම අවධානය මෙම සිනමා කෘතිය වෙත යොමු විය.

කලා කෘතියක් දෙස ජාතිවාදී වර්ගවාදී කෝණයකින් බලන මිනිසුන් සිටින තාක්කල් විශිෂ්ට ගණයේ කලා කෘති බිහිවන්නේ නැහැ . කලාවට ජාතියක්, වර්ගයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ උසස් රසවින්දනයක්, උසස් මනසක් ඇති මිනිසුන් පමණි. එහෙත් බල දේශපාලන අධිකාරියේ දේශපාලන අරමුණු වෙනුවෙන් කලාකෘති පාවා දෙන්නේ නම් එය සමස්ත මානව ප්‍රජාවගේ පරිහානියට හේතුවක් විය හැකි ය.

1 comment:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...