Like to Travle

Monday, July 23, 2018

නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි







 ගහක මල්  පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
 නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
 නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

 කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
 සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්
 නුඹට නොදැනෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
 කරනු බැරි තහනම්

 සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු    කැටයම්
 හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
 ලොවට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
 පුදුම වෙයි නුඹ නම්

යමුනා මාලිනී නම් මියුරු ගී පද රචිකාවිය විසින් ගෙතුණු මේ රම්‍ය  පදවැල ප්‍රේමයේ තවත් අසිරිමත් පැතිකඩක් කියාපාමින් චමත්කාරය උපදවන  ගීයක් කොට කරුණාරත්න දිවුල්ගනේ නම් වූ සොඳුරු ගායකයාගේ සුමිහිරි හඬින් අපේ සවන්පත් පිනවනවා. ගීතයේ සිටින  ප්‍රේමවන්තිය තම පෙම්බරාට සිත  බැඳුනු කාරණය විශ්ව සාධාරණ වස්තූන් සමඟ බද්ධ කරමින් එයත් මේ ලොව දහමේ ම ස්වභාවයක් ලෙස දක්වන්නට උත්සාහ දරයි.
ගීතයේ අන්තරා කොටස් වලින් කියවෙන ආකාරයට මේ පෙම්වතිය තහනම් ප්‍රේමයක පැටලී ඇති බව පෙනේ. ඇය විවාහ වී සිටියත් ඒ විවාහය ඇය අභිමත පරිදි සිදු නොවන්න ඇති ඒ නිසා ඇය ජීවත්වන්නේ තෘප්තියකින් නොවේ. මේ අතරේ ඇය තුළ තහනම්  ප්‍රේමයක් ලියනවා.සාමූහික බැඳීම් වලින් යුත් සමාජයක මෙය තහනම් වුවත් ප්‍රේමය යන විශ්වාන්තර සංකල්පය සම්මත සංස්කෘතික සීමාවන් තුළ සිරගත නොවේ.  එය නිදහසේ විශ්වයේ කැමති තැන්වල පාවෙලා යනවා ප්‍රේමය  හරිම නිදහස් එය බැදීම්, වගකීම්, සමාජ රැකවරනය, යන යදම් වලින් බැඳ දැමිය නොහැකිය.

 කාන්තාරයේ වැලි නිරන්තරව මුහුණ දෙන්නේ චණ්ඩ හිරුගේ කර්කශ  රශ්මියටයි.  ජීවිතයට උරුම වූ විවාහයත් ඒ වගේ ඇය ඉන් ලබන්නේ මිහිරක් නොවෙයි පීඩාවක්. එහෙත් ඒ වැලිකැට සුරම්‍ය වර්ෂාවක පහසින් සිසිලසින් ප්‍රමෝදමත් වෙනවා. ඇය තුළ හටගත් තහනම් පෙම් ප්‍රමෝදයත් එවැනි ය. මෙය අපට වැරදි පූර්වාදර්ශයක් දුන්නත් එහි පවතින විශ්වීය බැඳීම කාටවත් පැහැදිලි කළ නොහැකි දෙයක් ලෙසයි ඇය කියන්නෙ. හැමෝම මෙය වැරදි යැයි  හිතුවත් වැනි ප්‍රේමය තමන් තුළ හට ගත්තා නම්  ඇයි හටගත්තේ කියලා අහලා වැඩක් නැහැ. ඇයි කියලා ඇහුවට කවුද උත්තර දෙන්නේ. ඇහුවොත් කියයි ඒක තමයි ස්වභාවය කියලා. මේ පෙම් සිතේ ද එවන් මල් පිපිලා තියෙනවා. ඇයි කියලා ඇහුවට ඊට උත්තර දිය නොහැකියි. ඒක තමා ස්වභාවය මේ ස්වභාවයට පිටුපාන්නට සම්මුතියට, සංස්කෘතියට, දැනුමට, විද්‍යාවට, න්‍යායට බෑ ලෝක ස්වභාවයෙන් ම කොටසක් විදියටයි ඇය තුළ මේ පෙම් සිත්මල්   පීදිලා තියෙන්නේ.

 මේ අතරේ ඇය තම තහනම් පෙම සාධාරණීකරණය කරන්න ඉරබටු තරුව යොදාගන්නවා. රාත්‍රී තරු විසුල ආකාසේ ඉන්නා සෑම  තරුවක්ම සඳට පෙම් කරමින් සඳ බැස යාමත් සමඟ නොපෙනී යනවා. ඉරට පෙම් කරන්න ඉතිරි වෙන්නේ ඉරබටු තරුව පමණයි. සදෙන් නොලැබෙන රම්‍ය පහසක්, පරමානන්දයක් ඉරබටු තරුව දැන් ලබන්නේ හිරුගෙන්‍ ය. හිරුයි තරුයි පෑහෙන්නේ නැති වග ලෝකයට පෙනුනත් දෙදෙනාම තරු දෙකක්. නොපෙනෙන බැඳීමක් අසම්මත පෑහීමක් ඒ දෙන්න ගාව තියෙනවා වගෙයි ඇයගේත් ව පෙම්වතාගේත් ඇසුර. ඉතින් එය ලෝකයාට පැහැදිලි කරන්න අමාරුයි. ඒ බැඳීම වෙන කෙනෙකුට දැනෙන්නේ නෑ. තම මනරම් ප්‍රේමය ද එවැනි බවයි ඇය කියන්නේ. එහි විශ්ව සාධාරණ ගුණය කවදා හෝ ඔබත් මාත් තේරුම් ගත්දාට මේ ගැන පුදුම වනු ඇතැයි ඇය සිතනවා. බලන්න මොනතරම් සුන්දර අදහසක් සරල වචන කිහිපයකින් නිර්මාණශීලීව  ගළපලා තියෙනවද කියලා.  ඉන්දියාවේ පඬිවරයෙක් ප්‍රකාශ  කරලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ වචන අමෘතයක් කියලා එම කියමන මෙවැනි ගීත නිර්මාණ වලින් මනාව පසක් වෙනවා. අර්ථ රසය මෙන්ම මියුරු සංගීත රසයෙන් ද රසිකයා පිනවීමට මෙම  ගී පබැදුම සමත්වී තිබෙනවා.

1 comment:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...