Like to Travle

Friday, July 27, 2018

අසිරිමත් දළදා පූජෝපහාරය



කන්ද උඩරට සිරි දළඳා වංශයේ ඇසල පෙරහැර අනාදිමත් යුගයක සිට අද දක්වා පැවත එන්නකි. දළදා වහන්සේ වැඩසිටි රාජධානි සියල්ලකම පාහේ ඇසල පෙරහැර පැවැත්වීම සිරිතක් වුවත් මහනුවර ඇසළ පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වෙන්නේ දළදා සමිඳු වැඩ වසන බිමෙහි ය.  එනිසාම මහනුවර ඇසළ පෙරහර දෙස් විදෙස් කාගේත් ගෞරවයට පාත්‍ර වූ අසිරිමත් සැණකෙළියකි. ඇසළ පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවසය. එනම් ක්‍රි.ව 301-328 යුගයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය. එලෙස කිත්සිරිමෙවන් රජුගේ  රජුගේ පටන් ලක්දිව සියලු රජවරු සතුරු ආපදාවල දී හැර අන් සැම විටදීම දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. දළදා සිරිතෙහි එන පෙරහැර චාරිත්‍ර බොහොමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි. වසර 1592  දී පළමුවන විමලධර්මසූරිය රජ සමයෙහි ශ්‍රී  දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම කර වූ බව සැලකෙන අතර ඉන් අනතුරුව කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය පවත්වාගෙන ආ බවට තොරතුරු හමුවේ. දළදා වහන්සේට පුද සත්කාර, පූජෝපහාර පිණිස කොඩි, සේසත්, කසකරුවන් පංච තූර්ය වාදකයන් ද නැට්ටුවන් හා අලි ඇතුන් පිරිවරාගෙන පෙළ සැදී ගමන් කිරීම දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර යනුවෙන් ප්‍රකට වේ. ඇසළ පුර පසළොස්වක පෝය දිනට හෝ නිකිණි පුර පසළොස්වක පොහොය දිනට අවසන් රන්දෝලි පෙරහැර යෙදෙන සේ වාර්ෂිකව පෙරහැර පැවැත්වේ.

ක්ෂීර වර්ගයක වෘක්ෂයක ශාඛාවක් ගෙන සිව් මහා දේවාලවල ඇසළ කප්සිටුවීමෙන් දේවාල අභ්‍යන්තර පෙරහර පහක් ද ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද ,රන්දෝලි පෙරහර පහක් පැවැත්වේ. අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියේ ගෙඩිගේ විහාරයට පෙරහැර කරඬුව වැඩමවන පෙරහැර ද පැවැත්වේ. පසුදින දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය අවසාන් වේ. ඇසළ පෙරහරේ මුලින්ම ගමන් කරන්නේ ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර‍යි. ඊට පසු පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රී  පත්තිනි දේවාල පෙරහර ද ගමන් කරනු ඇත.

 පෙරහැර සාර්ථකව අවසන් කළ බවට රටේ ප්‍රධාන පාලකයා වන ජනාධිපතිතුමා වෙත සන්දේශය පිළිගැන්වීම සිදු කෙරෙන්නේ සියල්ල අවසානයේ දී ය. අසිරිමත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළ ගැස්ම විසින් විචිත්‍රාංග රැසකි.

  •  ආරක්ෂක රථය - මෑත ඉතිහාසයේ දී එක් වූ අංගයකි. ඉදිරිපස ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් ඉඩකඩ සලසා ගැනීමත් මෙමගින් සිදුවේ.

  •  කසකරුවෝ - පෙරහරේ මුලින්ම ගමන් කරයි. පෙරහැර ලග ලගම එන බව සංකේතවත් කිරීමත් ඉඩකඩ ලබා ගැනීමත් අරමුණය.

  •  ගිනිබෝලකරුවන් - මග දෙපස ආලෝකමත් කිරීමත් පෙරහරට මඟ දෙපස ඉඩ ලබාදීමත් ප්‍රීතිය ලබාදීමත් සිදු කරයි.

  •  බෞද්ධ කොඩි - බෞද්ධ ආගමික පෙරහරක් බව හැඟවෙන්නේ මේ නිසාය. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැගෙන යනු ලබයි.  එම නිසා මේ පෙරහර ජාතික උත්සවයක් ද වන බව සංකේතවත් කරයි.

  • දිසා කොඩිය - පළමුව හතර කෝරළයේ  ඉරහඳ මහ කොඩිය, දෙවෙනුව හත්කෝරළේ සිංහයා මහ කොඩිය, ඌවේ හංසයා මහ කොඩිය, මාතලේ සුදු මහ කොඩිය, සබරගමුව කහපාට පටරෙදි  මහ කොඩිය, තුන් කෝරළේ කොඩිය භේරුණ්ඩ මහ කොඩිය, වලපනේ මයුර මහ කොඩිය, උඩපලාත නෙළුම් මහ කොඩිය, නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය, වෙල්ලස්සේ කොටියා මහ කොඩිය, බිම් තැන්නේ ගිරවා මහ කොඩිය, තමන්කඩුව වලහා මහ කොඩිය, මෙම දිසාවන් 12 සංකේතවත් කරන කොඩි 12ක් ද යොදාගැනේ . උඩුනුවර, හේවාහැට, යටිනුවර, කොත්මලේ, තුන්පනේ, උඩ බුලත්ගම, හාරිස්පත්තුව, දුම්බර, පාත බුලත්ගම, යන නවයට වෙන්වු කොඩි  ද වේ.

  • පිත්තල දිසා කොඩි 7 සහ කඩු ගෙන යන්නෝ - පෙරහරේ ආරක්ෂාව සංකේතවත් කරයි.

  • හස්ථියා පිට පෙරමුණේ රාල - පෙරහර ගමන් ගන්නා මාර්ගය පිලිබද වාර්තා සහිත ලේකම්  සංකේතවත් කරයි.

  •  හේවිසිකරුවෝ - දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි ආදී වාද්‍ය භාණ්ඩයක් භාවිතා කරති. පෙරහැරේ අලංකාරය සඳහා වේ.

  •  ගජනායක නිලමේ - අංකුසයක්  අත දරා ඇතුන් නියෝජනය කරයි.

  •  හොරණෑ වාදකයෝ 
  • චාමර නැටුම්
  •    ලී කෙලි කණ්ඩායම   
  • පන්තෙරු 
  • තාලම්  කණ්ඩායම් 
  • හවඩි දඟයා 
  • නෛයඩි කණ්ඩායම 
  • අත් රබන් 
  •  කාරියකරවන කෝරාළ
  •  කරඬුව වඩමවන මංගල හස්තියා ඇතුළු දෑලේ ඇතුන් දෙදෙනා 
  • මල් පහන් ගෙන යන්නෝ   
  • වෙස් නැටුම් 
  • දියවඩන නිලමේ 
  •  දෙපස මුරායුද කරුවන් සහ මුතු කුඩය
  •  බුරුම කොඩි දෙකක්
  •  ගම් දහයේ විදානේවරු - මොවුහු නිල ඇඳුමින් සැරසී දියවඩන නිලමේ පිටු පසින් ගමන් කරති.

දළදා මාලිගාවේ පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලයන්හි පෙරහැර ගමන් කරයි.
මාලිගාවේ නැකත් මොහොට්ටාල තැන විසින් සාදන ලද නැකැත් පත්‍රයට අනුව සියලු පෙරහැර කටයුතු සුභ මොහොතින් ආරම්භ වේ.

රන්දෝලි පෙරහරෙන් පසු නැවත පෙරහැර මාලිගාවට ප්‍රවිශ්ඨ වෙයි. ඊට පසුදින දිය කැපීමේ පෙරහර පවත්වා පෙරහැර කටයුතු නිමා කෙරෙයි . අනතුරුව දියවඩන නිලමේතුමා ඇතුළු සියලු නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති මැදුරට පැමිණ එම වසරේ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට වූ සන්දේශය ජනාධිපතිතුමන් වෙත බාර කිරීම සිදුකෙරේ. දළදා පෙරහැර මංගල්‍ය පවත්වා දළදා පූජා පැවැත්වීමෙන් පසු මුළු රටටත් ජනතාවටත් ශාන්තිය උදා කරමින් කන්ද උඩරට මහා පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

2 comments:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...