හෙළ කලා අසිරිය අති උත්කර්ෂවත් මහා මංගල්‍ය ලෙස හැඳින්වෙන මහනුවර ශ්‍රී දළදා පෙරහැර ලාංකිකයන්ගේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම පිළිබිඹු කෙරෙන කැඩපතකි. එහි උත්තරීතර වටිනාකම රඳා පවතින්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දන්ත ධාතුන් වහන්සේ නිසාය. දළදා කරඬුව පෙරහරේ වැඩම කරවනු ලබන්නේ එහි පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයට දළදා කරඬුව ආවට ගියාට කෙනෙකුට ස්පර්ශ කළ නොහැකි ය. දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍යය හිමි වන්නේ සිව් දෙනෙකුට පමණි. ඉන් තිදෙනෙකු වන්නේ අස්ගිරි මල්වතු උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේ වරයාය. දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍ය හිමිකර ගත් අනෙක් වාසනාවන්තයා වන්නේ කරඬුව වැඩම කරවන ඇතාය. ඇතෙකු වූ පමණින් දළදා කරඬුව වැඩම කිරීම සඳහා අවසර හිමිවන්නේ නැත. ඒ සඳහා කාරණා කීපයක් සම්පූර්ණ කළ යුතුය.
එම සියලු කාර්යයන් සම්පූර්ණ කරමින් මේ වන විට දළදා කරඬුව වැඩම කරවීමේ සත්කාර්යය භාර වී තිබෙන්නේ නැදුන්ගමුවේ රාජා හස්තියාට ය. දළදා කරඬුව වැඩමවීමේ පූජනීය කාර්යය නැදුන්ගමුවේ රාජාට හිමි වූයේ 2005 වසරේ සිටය. ඉන්දියාවේ උපත ලබා දස වැනි වියේ දී ලංකාවට පැමිණි රාජාගේ වයස මේ වන විට අවුරුදු 63 කට ආසන්න වේ. අඩි දහය හමාරක උසින් යුක්ත නැදුන්ගමුවේ රාජා ආසියාවේ උසම ඇතා ලෙස ද වාර්තාවක් තබා ඇත. ඇත්තෙන්ම නැදුන්ගමුවේ රාජා මෙරටට පැමිණියා නොව ඔහු තුටු පඬුරු වශයෙන් මෙරටට ලැබුණු මාහැඟි සම්පතකි.
එදවස එනම් 1950 ලංකා ඉතිහාසයට නව පිටුවක් එක්කල වර්ෂයක් විය. නිලම්මහර නායක මාහිමිපාණෝ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රචලිත හිමිනමක් විය. නිලම්මහර හිමිපාණෝ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරජවරයකුගේ සමීපතමයකුට ප්‍රතිකාර කිරීම සඳහා එහි වැඩම කරන ලදී. උන්වහන්සේගේ ඖෂධවල බලමහිමයෙන් නිට්ටාවට සුවය ලද රෝගියා වෙනුවෙන් පුද පඬුරු ලෙස අවශ්‍යය මොනවාදැයි හිමියන් ගෙන් විමසන ලදී. මහරජ නාහිමියන්ට ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සිත් පැහැදී සිටියේය. අපගේ සංස්කෘතිය තුල ලෙඩෙකුට ප්‍රතිකාර කොට මුදල් ගැනීම ප්‍රතික්ෂේපිත කරුණකි. එබැවින් තුටු පඬුරක් ලෙස කුමක් හෝ පූජා කිරීම පරිත්‍යාග කිරීම සිංහල ජාතියේ ලක්ෂණය බව උන්වහන්සේ සඳහන් කළහ. එසේ හෙයින් අප රටේ චිරස්ථිතිය උදෙසා මතුදිනෙක අවශ්‍යය වනු ඇතැයි සිතා එකම ඉල්ලීමක් උන්වහන්සේ විසින් මහරජ වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය සම්භවයක් ඇති ඇතෙක් ය. මාගේ ඥාතියා සුව කල ඔබ වහන්සේට එක් ඇතකු වෙනුවට මේ ඇත් ගාලෙන් ඇත් පැටවු දෙදෙනෙකුම පරිත්‍යාග කරන බව මහරජ පැවසීය.
ඒ ලැබුණු පරිත්‍යාග පරිත්‍යාගයෙන් එක ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ම හා උසම ඇත් රජ්ජු ය. ඇතෙකු සතු මංගල කරුණු ඔහු සතුය. වසර 2005 සිට අඛණ්ඩව ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව මේ ඇත් රජු ලබා සිටී. ඔහු රට පුරා පවත්වනු ලබන සෑම පෙරහරකට ම සහභාගි වන්නේ පා ගමනින් ය. හොරණ ප්‍රදේශයේ සිට 1977 වසරේ නැදුන්ගමුවට පැමිණෙන හස්තියාගේ හිමිකරු වන්නේ පී.ඩී.ජී ධර්මවිජය වෙදරාළහාමි ය. වත්මන් හිමිකරු වන්නේ වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතායි. හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. ස්වභාවික පරිසරය තරම් සතෙකුට වෙනත් ආස්වාදයක් නැත. තට්ටුව සහිත ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය දරාගත නොහැකි නිසා විශාල වූ ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝග වලට පවා ලක්වී ආයුෂ අඩුවීමට ද හේතු වන බව හර්ෂ මහතා ප්‍රකාශ කරයි.
හිමිදිරියේම විල්සන් කොඩිතුවක්කු හා ඉන්දික යන දෙදෙනා රාජා සූදානම් කරගෙන ගමන පිටත් වන්නේ දැඩි හිරු රශ්මිය වැටීමට මත්තෙනි. දළදා පෙරහැර පමණක් නොව රත්නපුර මහ සමන් දේවාලය, බෙල්ලන්විල, පිළියන්දල, කැලණිය, කඩුවෙල, ගම්පහ, වාද්දුව සමග වසරකට 30 කට වැඩි පෙරහැර සංඛ්‍යාවකට නැදුන්ගමුවේ රාජා සහභාගී වෙයි. ඒ සියලු ගමන් යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වන් සමඟ ගමනේ යෙදෙන හස්තියාගේ සියලු වතගොත පිළිබඳ අවදියෙන් සිටීමට හිමිකරු වගබලාගනී. නුවර දළදා මාලිගාවේ පෙරහර පටන් ගැනීමට දින පහකට කලින් ගම්පහ නැදුන්ගමුවේ හර්ෂ මහතගේ ගෙදරින් සියලු වතාවත් වලින් නැකතට අනුව පිටත්වන හස්තියාගේ පළමු දින රාත්‍රි නවාතැන වන්නේ පස්යාල ය. පසුදින පස්යාලෙන් පිටත්වන ඇත් රජු දෙවැනි දින වරකාපොලත් තෙවැනි දින කෑගල්ලේත් ලැගුම් ගනියි. සිව් වන දින මාවනැල්ලේ රාත්‍රිය ගතකරන රාජා ඇත් ගොව්වන් සමග පසු දින සෙංකඩගල පුරවරයට ළඟා වෙයි. ගමන් ගන්නා අතර මග වසරක් පාසාම තම ප්‍රදේශයට ඇවිද එන මෙම හස්තියාට අහාර ලබා දීමට මිනිසුන් පෙරමඟ බලා සිටිති. ඇතැම්හු රජාට වැද නමස්කාර කරති. එහෙත් සියලු දෙනාට අවශ්‍යය පරිදි රාජාට ආහාර දීමට අවස්ථාව නොලැබේ. ඒ ඇත් රජුගේ ශරීර සෞඛ්‍යයට මනා ලෙස ගැලපෙන ආහාර පලතුරු ඇත්ගොව්වන්ගේ පරීක්ෂාවට ලක්වන බැවිනි. අලුයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලය විවේකයෙන් ගතකරයි. නැවතත් සවස් යාමයේ ගමන් ආරම්භ කරන රාජා රාත්‍රි කාලයේ විහාරස්ථානයක නවාතැන් ගැනීම සිදු කරයි.
වසරක් පුරා පවත්වන පෙරහැරවල් 30 සඳහා දින තුනක් හෝ හතරකින් පහකින් රාජා ගමනාන්තයට ළඟා වේ. දවසකට හස්තියකු කිලෝමීටර් 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. ඇතකුගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍යය ය. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උස අඩි 11 හමාරක් පමණ වන රාජ දැනට පෙරහැරවල් 1065 කට පමණ සහභාගී වී ඇත. දැඩි ලෙස පලතුරු ආහාරයට ගැනීමෙන් හස්තියාට බඩේ අමාරු සැදෙන බැවින් හස්තියාට ආදරය කරන නැරඹීමට පැමිණෙන අයගෙන් හිමිකරු ඉල්ලා සිටින්නේ පලතුරු නිතර නිතර ලබා නොදෙන ලෙසයි.
සරක් පාසා උදාවන සෑම සිංහල අලුත් අවුරුද්දක ම නැකතට රාජාගේ හිසතෙල් ගැල්වීම සිදු කරයි. මෙම හස්තියා සමග ලංකාවට ගෙන ආ අනෙක් හස්ථියා වනුයේ ගංගාරාමයේ නවම් රාජාය. කිසිදු දිනක මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ රාජා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී අනෙක් හස්ථීන් කලබල කළත් රාජා තම පාඩුවේ පෙරහැරේ ගමන් කිරීමයි. පසුගිය වකවානුව තුළ එවැනි සිදුවීමක් මහනුවර පෙරහරේ දී සිදු වුවත් නැදුන්ගමුවේ ඇත් රජු තම වගකීම ඉටු කිරීමට වග බලා ගත්තේය. ඇතකු පිට කරඬුව බැඳීම ඉතා දුෂ්කර කාර්යයකි. පිට මත කරඬුව ගැට ගැසීමෙන් හස්තියා පීඩනයට පත්වෙයි. බඳවටා පටි තද කිරීමෙන් හස්ථීන්ට පෙනහළු තද වී රෝග ඇතිවන්නට ඉඩ ඇත. එබැවින් මංගල කරුණ සපිරුණ ඇතෙකු දළදා කරඬුව වැඩම කිරීම උදෙසා තෝරාගැනීමට හස්ති මණ්ඩලයකින් තේරීම රජ දවස පටන් සිදුකළ කාර්යයකි.
නැදුන්ගමුවේ හස්තියා ගේ පෙර වාසනා බලමහියටත් දන්ත ධාතූන් වහන්සේගේ හාස්කම හා අනුහස් බල මහිමයෙනුත් කිසිවක් සිදු නොවී මංගල හස්තියෙකු කමේ වාසනාව නැදුන්ගමුවේ රාජා සතුය. පුරා වසර දහයක් එක ලස කරඬුව වැඩම කරවීමට රාජා සම්මත් වී ඇත. දිගින් දළ දෙක අඩි හතරහමාරක් පමණ වෙතත් ශරීර අභ්යන්තරයේ අඩි දෙකක් පමණ තිබේ. එහෙයින් අඩි හය හමාරක් පමණ හස්තියාගේ දළ යුගල දිගු වේ. රාජාගේ සියලු වෙදහෙදකම් හර්ෂ මහතා විසින් සිදුකරන අතර අත්‍යවශ්‍ය වුවහොත් වෙනත් වෙදදුරෙකුගේ සහය පතයි. දිනපතා ලැබෙන පෝෂ්‍යදායි අහාර හා සත්කාරයෙනුත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබමිනුත් ඇත් රජෙකු ලෙස තවත් වසර ගණනාවක් දළදා සමිඳුන්ගේ කරඬුව වැඩම කරන්නට නැදුන්ගමුවේ ඇත් රජුට වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.
Wahinawaa wedagath
ReplyDeletewatina lipiyak.keep it up sano
ReplyDelete