දකුණු ලක කතරගම දෙවොලේ ඇසළ පෙරහැර මංගල්ලයට සහභාගි වීමට ලංකාව පුරා වෙසෙන බැතිමතුන් සැදැහැ සිතින් පේවී රුහුණු පුරවරයට පැමිණෙන්නේ රොද බැදගෙනය. ඒ අතර මෙම පිංකමට නොවරදවාම සහභාගි වන විශේෂ පිරිසක් ද වේ. මහ වන මැද පාගමනින් දෙව් පුදට යන බැතිමතුන්ගේ පාද යාත්‍රාව සෑම අවුරුද්දකම සිදුවන ක්‍රියාවකි.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොතුවිල්, ආරුගම්බේ ඔස්සේ ඇදී එන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ මේ දුෂ්කර ව්‍යායාමය වූ කලී කතරගම දෙවිඳුන් කෙරෙහි සිය භක්තිය පුද කිරීමයි. සිංහල සිංහල, දෙමළ, මුස්ලිම් ආදී උතුරු, නැගෙනහිර ඇතුළු බැතිබර ජනී ජනයා කිසිදු භේදයකින් තොරව මේ දුෂ්කර ගමනට එක් වන්නේ බොහෝ ඈත යුගයක පටන්ය.මෙම පෙරහැර මංගල්‍යයට ඇදී එන බැතිමතුන් ඒ සදහා මාස තුනකට පෙර සිටම පේවෙති. මස් මාංශයෙන් තොරව, අවමගුල් උත්සව වලට සහභාගි නොවී, අනුන් ඇන්ද රෙදි පිලි නොඅදිමින් ගැහැනුන් මෙන්ම පිරිමින්ද තම කිලි කුණු සෝදා හරිමින් පවිත්‍ර වන්නේ මේ බැතිබර වන්දනාවටය.
බැරි බර හිස අත දරා පොදි බැඳගෙන "හරෝ හරා" උදානයෙන් උදම්ව මහ වන මැදින් පැමිණෙන මොවුන්ගේ සිතේ ඇත්තේ කතරගම දෙවියන් කෙරෙහි අපමණ භක්තියකි. මහ වනාන්තරයේ සතුන් ගෙන් ද බොහෝ විට මොවුන්ට හිරිහැරයක් සිදු නොවේ. පාද යාත්‍රාවෙන් කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ කුඹුක්කන් ඔය පොත්තන යාල අංක 2 මැණික් ගඟ ඔස්සේ කටගමුව හරහා යාලට පැමිණේ. එතැන් පටන් රුදුරු වන මැද පසුකර දින දහයක් පමණ දුර කතර ගෙවා කතරගම දෙවොලට පැමිණේ. තවත් පිරිසක් පානම කුමන දක්වා රථවලින් පැමිණ එතැන් පටන් පාද යාත්‍රාවට එක්වේ.
ඔකද දේවාලය අසලින් කුමනට පැමිණෙන්නේ බොහෝ දුරක් ගමනාරම්භ කිරීමෙන් පසුවය. අතිශය පවිත්‍ර වූ පිළිවෙතක් අනුගමනය කරමින් ආහාර වලින් පවා පවිත්‍රව දෙවියන් වන්දනයට සැරසීම මොවුන් තුළ ඇති බැතිබර බවට සංකේතයකි. වියළා ගත් බත් ,හබල පෙති ඊටම කිතුල් හකුරු එක් කර සාදාගත් අහරකින් කුස ගිනි නිවාගෙන දියකඩිති කින් පවස නිවාගන්නා මොවුන් නැවත ගමන් අරඹයි. චිරාත් කාලයක් පැවත එන බැතිමතුන්ගේ පාද යාත්‍රාව අද දක්වා පැවත එන්නේ අතීත සිරිතක් අනුවය. රථවාහන නොතිබූ යුගයේ එඅම ජනයා වන්දනාවේ ගියේ පා ගමනින් ය. එය අදත් සිරිතක් ලෙස පවත්වාගෙන යන බවට සිතිය හැක.
ඇඳිරි වැටුණු පසු රාත්‍රිය ගතකිරීමට ගස් සෙවනක් හෝ ගල්තලාවක් තෝරාගන්නා බැතිමතුන් ගල්තලාව මත දීම පිටි අනා රොටී පුළුස්සාගෙන කා පසු දින හිරු නැඟෙන්නටත් පෙරාතුව යළි ගමන් ඇරඹීම සිරිතකි. දිනකට කිලෝමීටර් දහයක් පමණ දුරක් ගෙවා කතරගම පුදබිමට පැමිණෙන පිරිස එහි ගස් යටට වී පුරා දින 15ක් ගත කරන්නේ අතිමහත් වූ අනුහස් බෑතියකින් යුතුව ය. මැණික් ගඟේ දිය කැපූ ශුද්ධ වූ ජලය රැගෙන ගම්බිම් බලා පිටත්ව යන්නේ ආයෙමත් ලබන වසරේදී නැවත පැමිණීමේ බලාපොරොත්තුව ඇතිවය. වර්තමානය වන විට බොහෝ ස්වේච්ඡා සංවිධාන මෙම වන්දනාකරුවන්ට ඔවුන් පැමිණෙන මග දිගට ආහාර, බෙහෙත් හේත් හා ජල පහසුකම් සැපයීමට ඉදිරිපත් ව සිටියි. රජයේ ආරක්ෂක අංශ මඟින් ආරක්ෂක කටයුතු ද නිබඳව සලසා ඇත.
ජනප්‍රවාදයන්ට අනුව වල්ලි මාතාව සරණ පාවා ගැනීමට පැමිණි කඳකුමරු පැමිණියේ රන් ඔරුවකිනි. ඔකද මුහුදු වෙරලට රන් ඔරුවෙන් පැමිණි කඳකුමරු එතැන් පටන් වන මැදින් ගියේ පා ගමනින්ය. රන් ඔරුව දුටු ජනයා එය අත්පත් කර ගැනීමට පොර කෑහ. එය ආරංචි වී යළිත් එතැනට පැමිණි කදකුමරු රන් ඔරුව ගාල් කර අනෙක් පැත්ත ගසා නැවත කතරගම පුරවරයට පැමිණියේලු. එම සිදුවීම නිසා ම ඔකද මුහුදු තීරය මෙහි සුවිශේෂී බවක් උසුලනු ඇත. කෙසේ වුවද රුහුණු බිමේ කඳකුමරුන් පුදන්නට මහා වනමැද ගෙවා මෙලෙස වන්දනාවේ යන බැතිමතුන් ගේ පාද යාත්‍රාව පෙරටත් වඩා එක්රොක් වී ඇති බව පෙනේ. යුද්ධය පැවති යුගයේ තරමක් බැතිමතුන් අඩු වුවද දැන් ඔවුන්ගේ අඩුවක් නැත. අදත් හෙටත් මතුවටත් තවත් චිරාත් කාලයක් පුරා කඳකුමරුන් පුදන්නට යන මේ පාද යාත්‍රාව මහා වනමැද ගෙවා කතරගම බලා එනු ඇත.
Wedagath lipiyak
ReplyDeleteSuper sano...
ReplyDelete