Like to Travle

Tuesday, June 19, 2018

මුදු මුහුණේ සුව දැනුනේ ප‍්‍රිය ළඳුනේ මට විතරද









නිර්මාණකරුවා යනු අපූව වස්තු නිර්මාණය කරන පුද්ගලයෙකි. නිර්මාණකරුවා අතින් නිමැවෙන අපූර්ව සාහිත්‍යාංගයක් ලෙස ගීතය හඳුනාගත හැකිය. ප‍්‍රතිභානය, ව්‍යුත්පත්‍ය, සතථාභ්‍යාසය, පරිකල්පනය සහ අනුභුතීන්ගෙන් සමන්විත ගේය පද රචනය සුවිශේෂි සාහිත්‍යාංගයකි. මෙම කාව්‍යමය නිර්මාණය සියුම් වූ ද, ප‍්‍රභල වූ ද භාව ප‍්‍රකාශන මාධ්‍යයකි. එමෙන්ම ගීතය එයටම සුවිශේෂි වූ නෛසර්ගික, අවියෝජනීය අගයන්ගෙන් හා ගතික ස්වරූපයන් සහිත ප‍්‍රාසාංගික ප‍්‍රබන්ධයකි.

සිංහල සුභාවිත ගීතය ද යුග කිහිපයක් හරහා විකාශනය වූවකි. එම නිසා විශේෂ ප‍්‍රවණතා ගීතයේ රුව ගුණ දෙකටම ලැබී ඇත. ගීතය සතු රුව ගුණ වරුණ ඊටම පමණක් අනන්‍ය වේ. එය සංකීර්ණ අනුභූතීන් පසක් කර ගනි. එමෙන්ම ආනන්දයෙන් සහ චමත්කාරයෙන් ප‍්‍රඥාවට පහසුවෙන් යා හැකි සෞන්දර්්‍යමය භාවිතාවකි. සංජානනයෙන් වේදිතයන් ප‍්‍රතිනිර්මාණය කිරීමේදී ගීතය ප‍්‍රාමාණික මාධ්‍යයක් මෙන්ම සක‍්‍රීය වාහකයක් බවට ද පත්ව ඇත. කවියාට, ගායකයාට, රසිකයාට, විචාරකයාට, සංගීතඥයාට, සහෘදයාට සහ පොදු ජනතාවට ගීතය යනු ප‍්‍රභලතම විඤ්ඤාපන මාධ්‍යයකි.

ගීතය සඳහා ගේය පද යන්න නූතනයේ සුභාවිත මෙන්ම ප‍්‍රාමාණික නිර්වචනයයි. ගීත, සින්දු  යනුවෙන් හැඳින්වුවද ගේය පද රචනය හා ගී සින්දු අතර ගුණාත්මක සහ සන්දර්භමය මෙන්ම ආකෘතීය අතින් ද වෙනස්කම් දක්නට ඇත. වත්මන් ගීතය ලෙස හඳුන්වන කාව්‍යමය නිර්මාණය ගී සහ සින්දු අතරින් වෙන වෙනම ම හඳුනාගත යුතු සුවිශේෂි අංගයකි. එය එම ස්ථානයට පත් කිිරීම  අන් කිසිවෙකු නොව ගේය පද රචනාවන් තුළම පවත්නා එයටම අනන්‍යය වූ ගතික ස්වරූපයන්ය. කවිය සහ ගීතය අතර ද ඇත්තේ අවියොජනීය සම්බන්ධයකි. ගුණාත්මක බවින් පිරිපුන් ගේය පද සුභාවිත ගීතයක් බවට පත්වන්නේ එතරම් ආයාසයකින් නොවේ. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම් සංගීතය ඉතා මිහිරිය, ශ‍්‍රවණ රෝග පවා සුව කළ හැක, අරුත ඉතා ගැඹුරුය, රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකරයි, භාව රසය ද ඉතා ඉහළය. 

ගීතය ඔස්සේ විවිධ මානයන් සාකච්ඡාවට භාජනය වේ. පෙරදිග රටවල් යනු සම්ප‍්‍රදායන්ට, සංස්කෘතියට මුල් තැන ලබාදෙන සහ ඒවා කඩ කිිරීමට නොපෙළඹෙන මිනිසුන් සහිත සමාජ ක‍්‍රමයක් සහිත ඒවාය. ශ‍්‍රී ලංකාව තුළ තිබෙන තත්වය ද එසේමය. අප තුළ තිබෙන හැදියාව සහ සම්ප‍්‍රදායන් බිඳින්නට තිබෙන අකමැත්ත නිසා වර්තමානයේ කතා කළ යුතු දැනුවත් විය යුතු සමහර මාතෘකා සම්බන්ධයෙන් අනුගමනය කලේ නිහඩ පිළිවෙතකි. ලිංගිකත්වය යනු ඉන් එක් මාතෘකාවකි. ලිංගිකත්වය ලංකාවේ සංස්කෘතිය තුළ සඟවා තිබෙන එහෙත් ලංකාවේ ගීත සාහිත්‍ය තුළ බොහොම නිදහසේ සාකච්ඡුාවට බඳුන් වන මාතෘකාවකි.

ගීතය නැමැති නිර්මාණය තුළින් ලිංගිකත්වය යන අදහස ව්‍යංගාර්ථවත්ව ප‍්‍රකාශ කරයි. එලෙස රචනා වූ අපූර්ව ගේය පද රචනාවක් ලෙස මහින්ද දිසානායකයන් රචනා කළ මුදු මුහුණේ සුව දැනුනේ ගීතය හඳුනාගත හැකිය. මෙම පද රචනයට ගී තනු නිර්මාණය කලේ ප‍්‍රවීණ ගායකයෙකු වන ගුණදාස කපුගේ මහතා වන අතර ගායනයෙන් අලංකාරවත් කරනුයේ කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප‍්‍රියදර්ශනී පීරීස් මහත්මියයි.

මහින්ද දිසානායකයන් විසින් රචිත මෙම ගීතය පේ‍්‍රමය, ලිංගික ඊර්ශ්‍යාව ව්‍යංගාර්ථවත් ලෙස පාඨකයා අභිමුවට ගෙනෙන අලංකාර ගීතයකි. මෙහි භාවිත පද පෙලෙහි මතුපිටින් පෙනෙන අර්ථයට වඩා එහි ගැබ් වී ඇති යටිපෙළ අර්ථය ඉතා ගැඹුරුය. මෙහිදී රචකයා භාවිත කර ඇති භාෂා රටාව සරල හා සුගම වන අතර අර්ථ විවරණයේ දී එම සරලත්වය තුළ නොසිතන යථාර්ථයක් ගැබ් වී තිබෙන බව පසක් වේ.


මූලික වශයෙන් මෙම ගේය පද රචනාව සඳහා ජන කවියක් මූලාශ‍්‍ර වූ බව සඳහන් වේ.

කෙහෙ රැලි රැලි කෙහෙ රැලි රැලි අවුලි           නගෝ
ඉඟ රැලි රැලි   ඉඟ රැලි රැුලි    බුරුලි            නගෝ
මුහුණේ තියෙන පැහැපත්කම අඩුයි               නගෝ
නෙළුම් මලට පැන් ඉස්සේ කවුද                  නගෝ

මෙම ජන කවියෙන් ද ව්‍යංගාර්ථවත්ව ප‍්‍රකාශ කරනුයේ ශෘංගාරය නැතහොත් ලිංගිකත්වයයි. මෙහි කොතැනකවත් ලිංගිකත්වය අඩංගු එකදු වචනයක් සඳහන් නොවේ. නමුත් එහි අර්ථය ලිහා බැලූ කල්හි පැහැදිලි වන්නේ යෞවනියක ලිංගික අතවරයකට ලක් වී ඇති අතර එහි සත්‍ය අසත්‍යතාව, එයට හේතු වූ පුද්ගලයන් පිළබඳ විමසන අවස්ථාවකි. නෙළුම් මල පිරිසිදුකමේ සංකේතයයි. නෙළුම මඩෙහි හටගෙන එහි නොගෑවී දියෙන් උඩට විත් අලංකාරවත්ව සුවඳ හමමින් තිබෙන පුෂ්පයකි. ගැහැණු ළමයා ද එසේමය. ඇය නෙළුමක් මෙන් පිරිසිදුය, ලස්සනය. එසේ සිටි ඇයව අපවිත‍්‍ර කලේ කවුරු ද යන ප‍්‍රශ්නය මෙහිදී ජන කවියා අසන්නේ ඉතා නිර්මාණශීලී අයුරිනි.
උක්ත ජන කවියේ ආභාෂය නූතන ගීතයට නගා ඇත්තේ ද ඉතා නිර්මාණශීලී අයුරිනි. මෙහිදී ගී පද රචකයාගේ ප‍්‍රතිභාව, පරිකල්පනය ඉතා විශිෂ්ටය. ඔහු ද භාෂාව හසුරුවා ඇත්තේ ඉතා සංයමයකිනි. ගීතයේ ද කිසිදු තැනක ලිංගිකත්වය පිළිබඳව සෘජුව කතා නොකරයි. එහි ඇත්තේ ව්‍යංගාර්ථය සහ සංකේතාත්මක භාෂාවකින් සබැදුනු පද මාලාවකි. ව්‍යංගයේ දී සිදු විය යුත්තේ ද එයයි. එනම් අර්ථය එක එල්ලේ ප‍්‍රකාශ නොකර එහි යටි අරුත තීවෘරව ප‍්‍රකාශ කිරීමයි. 
මෙම ගීතය දෙබස් හුවමාරු වෙමින් ගලා යයි. මෙහිදි මූලිකවම සැමියා සහ බිරිඳ අතර වන සංවාදයක් නිරූපණය වේ. මොවුන් දෙදෙනා අඹු සැමියන් බව අගවන එක් කරුණක් නම් පිරිමියා කාන්තාවට ප‍්‍රිය ළදුනේ ලෙස ආමන්ත‍්‍රණය කිරීමත්, ගැහැණිය පිරිමියාට හිමි සදුනේ ලෙස ආමන්ත‍්‍රණය කිරීමත්ය. ගණිකාවකට කිසිවිටෙකත් ප‍්‍රිය ළදුනේ ලෙස ඉතා ආදරයෙන් ඇමතීමක් සිදු කරනවා යැයි විශ්වාස කල නොහැකිය. එමෙන්ම හදිසියේ හමු වූ දෙදෙනෙකු අතරේ මෙම දෙබස සිදු වේ නම් පිරිමියා කාන්තාව ප‍්‍රිය ළදුනේ යනුවෙන් ආමන්ත‍්‍රණය කිරීමටත්, කාන්තාව විසින් පිරිමියාට හිමි සදුනේ යනුවෙන් ආමන්ත‍්‍රණය කිරීමටත් හැකියාවක් නොමැත. අනිත් කරුණ නම් ‘‘පුළුලූකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතර ද’’ යනුවෙන් ප‍්‍රශ්න කිරීම. අවිවාහක යුවලක් නම් එම ප‍්‍රශ්නය ඇසීමට උවමනාවක් නැත.

එක් ආකාරයකින් බලන විට මෙය සමාජ සංස්කෘතියක කාරණයකි. එනම් පෙරදිග සමාජ ක‍්‍රමය තුළ විවාහය සහ කාන්තාව යන සංකල්පය පිළිබඳ පවතින සමාජ මතය ද නිරූපණය කරයි. බටහිර සමාජ ක‍්‍රමය තුළ ලිංගික ඊර්ශියාව සාමාන්‍ය දෙයකි. නමුත් පෙරදිග සමාජ ක‍්‍රමය තුළ එය එලෙස පිළිනොගනි. ගැහැණියගේ පවිත‍්‍රත්වය යන සාධකය පෙරදිග සමාජයේ ඉළින්ම පිළිගන්නා සාධකයකි. ඒ පිළිබඳ සැකය විවාහ වන තෙක් තහවුරු කරගත නොහැකිය. එම සංකල්පය ද මෙම ගීතය තුළ වක්‍රෝක්තියෙන් ප‍්‍රකාශ වේ.

ඕනෑම සැමියෙකුගේ ප‍්‍රාර්ථනාව වන්නේ තම බිරිඳ නොයිදුල් කෙනෙකු වීමයි. මේ සැමියා ද එසේමය. නමුත් ඔහු එය අසන්නේ ඇයගේ සිත නොරිදෙන අයුරිනි. විවාහක යුවලක් විවාහ වෙල කාලයක් ගත වූ පසු ඒ දෙන්නා පිළිබඳ දෙදෙනාටම සැකයක් ඇති වෙනවා. ගීතයෙන් අර්ථවත් වන්නේ එම සැකයේ ආරම්භයයි. එනම් සිතින් සැක කරන අවස්ථාවයි. සමහර වෙලාවට පෙම්වතුන් අතරෙත් මේ ප‍්‍රශ්න ඇති වෙනවා,එය වගකීම් රහිත ප‍්‍රශ්න ඇති වීමකි. පෙම්වතුන් අතර ප‍්‍රශ්න ඇති වීමෙන් වෙන්වීම බරපතල ප‍්‍රශ්නයක් බවට පත් වන්නේ නැත. නමුත් විවාහක යුවලක් අතර සැකය ඇති වී වෙන්වීම විශාල ප‍්‍රශ්නයකි. එම නිසා සැකයේ වාසියට ඉඩ නොතබා නිශ්චිතවම අදාළ කාරණය පිළිබඳ සොයා බලා විමසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ.

ගීතයේ ආරම්භයේ සිට අවසානය දක්වාම දෙදෙනාගේ සංවාදය ඉතා පේ‍්‍රමාන්විත ලෙස ගලා යයි. සැමියා බිරිඳගේ උකුලෙ ආදරයෙන් හිස තියාගෙන සුව විදින මොහොතක අහනවා

මුදු මුහුණේ සුව දැනුනේ
ප‍්‍රිය ළඳුනේ මට විතරද
එනම් ඔබේ ඔය මෘදු වූ සියුම් වූ මුහුණ සිප වැළද ගත්තේ මම විතරද යන්නය. එවිට බිරිඳටත් ඒ වගේම ප‍්‍රශ්නයක් තියෙනවා
ඔබෙ සුසුමේ සුව දැනුනෙ
හිමි සදුනේ මට විතරද


එනම් ඔයත් සිප වැළද ගත්තෙ මං විතරද යනුවෙන් ඇයත් පෙරලා ප‍්‍රශ්නයක් ම අසයි. මෙම ගීතයේ විශේෂත්වය වන්නේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට බිරිඳත් නැවත ප‍්‍රශනයක් ම ඇසීමයි. ස්වාමියා බිරිඳගෙන් අහනවාට වඩා සැර ගතිය වැඩි අර්ථයක් බිරිඳ ස්වාමියාගෙන් ප‍්‍රශ්න කරන විට මතු වේ. එම පද තුළ වකා‍්‍රකාරව ලිංගික එක්වීමක වේගවත් සුසුම් පහරක් අර්ථවත් කරයි. කෙසේ වෙතත් බිරින්දෑවරුන්ගේ ප‍්‍රශ්න කිරීම් සැර නිසා එම තර්කය සාධාරණ යැයි සිතමි.

තවමත් දෙන්නට දෙන්නා සැක කරනවා අපේ වචනයෙන් කියනවා නම් තවම ගිනි පත්තුවෙලා නැතත් ගිනි පත්තුවෙන්න ඔන්න මෙන්න වගෙ තියෙන්නෙ. දෙන්නම ගින්න අවුලව ගන්න මාවතක් හොයන බව ගීතයේ මුල් පද පේලි වලින් කියැවේ.

පි - පුළුලූකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මං විතරද

ගැ - උරතලයේ හිස රන්දා
     සුව වින්දේ මං විතරද

මෙහිදි ස්වාමියා බිරිඳගෙන් අහනවා ඇයගේ උකුල් තලයේ හිස තියාගෙන නිදි වැරුවෙ තමන් විතරම ද කියලා, එවිට බිරිඳටත් තියෙනවා ඒ වගේම ප‍්‍රශ්නයක් එනම් තමන්ගෙ ස්වාමියාගෙ උරතලයේ හිස තියාගෙන ඒ සුවය වින්දෙ තමන් විතරමද යන්නයි. මෙහිදි උරතලය යනු පිරිමියාගේ පපු ප‍්‍රදේශයයි. ගීතය ක‍්‍රම ක‍්‍රමයෙන් උච්චත්වය කරා ගමන් කරන බවක් පෙනීයයි. එනම් පළමුව මුහුණ සිඹීම, ඉන්පසු ස්පර්ශය මෙම ප‍්‍රශ්න සියල්ලෙන්ම ව්‍යංගාර්ථවත් වන්නේ දෙදෙනෙකුගේ ලිංගික එක් වීමකට පෙර සිදුවන කි‍්‍රයාකාරකම්ය. 

ඉන්පසු ගීතයේ අර්ථය පිළිවෙලින් ගලාගෙන යාමේ උච්චතම අවස්ථාවට පැමිණේ. එනම් ප‍්‍රශ්න කිරීමේ ඉහළම අවස්ථාව මෙයයි.


පි  - ඉඟ නෙරියේ රැුළි බින්දේ
      පි‍්‍රය ළඳුනේ මං විතරද

ගැ - ඉඟ නෙරියේ රැුළි සැදුවේ
      හිමි සඳුනේ මගෙ විතරද


මෙහිදී ඉඟ නෙරියේ රැුළි බිඳිනවා යනුවෙන් අර්ථවත් වන්නේ ශරීරයේ වස්ත‍්‍ර ඉවත් කිරීමයි. ස්වාමියා බිරිඳගෙන් අහනවා ඔයාගෙ ඇඳුම් ඉවත් කළේ මම විතරම ද කියලා එයින් වක‍්‍රව  අහන්නේ ලිංගික ඇසුර පැවතියේ තමන් එක්ක විතරම ද යන්නයි, ඒත් සමගම බිරිඳත් අහනවා ඔයා ඇඳුම් ඉවත් කළේ මගෙ විතරමද කියලා එනම් සැමියත් ලිංගික ඇසුර පැවැත්වූයේ තමන් සමග විතරමද යන්නයි.

මෙම ගීතයේ සිප ගැනීම, උකුලේ හෝ උර තලයේ නිදි වැරීම අවසානයේ ලිංගික ඇසුර යන්න පිළිවෙලට ගලපා ඇත. එමගින් ගීතයේ අර්ථය පහළම තැන සිට උච්චතම අවස්ථාව දක්වා ගමන් කර ඇත. මෙහිදි වඩාත් පිළිඹිබු වන්නේ රචකයාගේ නිර්මාණශීලීත්වයයි.

මුහුණ සිඹීම, උකුළේ හෝ පපුවේ හිස තබාගෙන සුව විදීම, සිරුරේ වස්ත‍්‍ර ඉවත් කිරීම යන පද මගින් ගීතයේ සැගවී ඇති ලිංගිකත්වය යන කරුණ ඉස්මතු කර ඇත.


සංගීත පසුබිම

මෙම ගීතයේ මාත‍්‍රා විසිහතර විරිත රකිමින් නිර්මාණය වී ඇත. සමහර තැන්වල හල් අකුරු යෙදී තිබුණ ද විරිතට හානියක් වී නොමැත. එලෙස විරිත රැකී තිබෙන නිසා ගීතය නිකම් කියවගෙන ගියත් සිතට අමුතු හැගීමක් ගෙන එයි. කවි ලිවීමේදී භාවිත වන මේ විරිත් ගීතවලට භාවිත වීම සංගීත නිර්මාණය කරන සංගීතඥයාට වඩාත් පහසුය. රාතී‍්‍ර කාලයේ සිතට දැනෙන සංගීතයක් මෙහි අඩංගු වේ. 

ගීතයේ තේමා වාදනය ආරම්භ වන්නේ වයලීන් වාදනයකින්ය. සැක, බිය, ශෝකය මිශ‍්‍ර වූ මෙම ගීතයේ අර්ථය ඇගට දැනෙන්නෙ එම වයලීන් වාදනයෙනි. වයලීන් වාදනයේ ඇතුලේ වාදනය වන චෙලෝ වාදනයත් ඉතා සහයෝගයෙන් ගීතයේ හැගීම් ඉස්මතු කර පෙන්වයි. ගීතයේ ඇති හදවතට දැනෙන බර ගතිය දැනෙනුයේ මෙම වාදන කාණ්ඩවල ඇති චෙලෝ සහ බේස් ගිටාර් වාදනයෙනි.

මුදු මුහුණේ කියනවිට සැක්ස ෆෝනයෙන් බීට් පාර්ට් එකක් වාදවය වේ. සුව දැනුනෙ කියනවිට ද සැක්ස ෆෝනය වාදනය වේ. එමගින් පිරිමියාගේ හැගීම්වල ඇති රළු බව ඉස්මතු වේ.

දීපිකා මහත්මිය ගායනා කරන ඔබෙ සුසුමේ සුව දැනුනේ යන පද පේළි දෙකේ සියුමැලි හැගීම් ඉස්මතු කිරීමට වයලීන් වාදනය සමත් වී ඇත.
සුව යහනේ , රැළි බින්දේ යන තැන්වල ගායකයා තමාගේ සියුම් කටහඩ යෙදීමෙන් ගීතයේ අලංකාර බව සහ සංවේදී බව ඉහළනංවා ඇත.










No comments:

Post a Comment

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...